namal-law-college

 දසනායක මුදියන්සේලාගේ තුෂාර ජයරත්න. මේ දිනවල පාර්ලිමේන්තුවේ කතාවන ජනප්‍රිය නාමකරණයකි. ඒ නාමල් රාජපක්ෂගේ නීති විභාගය සම්බන්ධ කාරණය අභියෝගයට ලක්වනුයේ ඔහුගෙන් බැවිනි. රාජපක්ෂ පාලන සමයේ ජීවිතය රැකගනු පිණිස ස්විට්සර්ලන්තයේ දැනට දිවි ගෙවන ඔහු සමඟ  කළ සංවාදයකි මේ. නාමල් රාජපක්ෂගේ නීති විභාගයේ ප්‍රශ්නය කරළියට එන්නෙ ඔබ හින්දා. ඒ සිද්ධිය ආයේ මතක් කරමුද?

“නාමලුයි, මමයි දෙන්නම එකට තමයි ලෝ කොලේජ් එකේ ෆයිනල් ලිව්වේ. ඒ 2010 අවුරුද්දෙ. මගේ ලෝ කොලේජ් එකේ ලියාපදිංචි අංකය තමයි 17988. එතකොට නාමල් රාජපක්ෂ ලෝ කොලේජ් එකට රෙජිස්ට්‍රේෂන් එක කරගන්න එන දවසේ මම ඇස් දෙකෙන්ම දැක්කා ලෝ කොලේජ් එකේ ප්‍රින්සිපල් රොද්‍රිගු ගිහිල්ලා නාමල්ට බුලත් අතක් දීලා පිළිගන්නවා. හරි පිළිකුල්. ඊට පස්සෙ මට දැනගන්න ලැබුණා. මිනිහා ෆස්ට් ඉයර් පේපර් එක ලියන්නෙ A/C කාමරයක. අනෙක් ශිෂ්‍යයන්ට නොලැබෙන වරප්‍රසාද අවස්ථාවක් දීලා කියලා. ඊට පස්සේ මම ගියා මේක “කම්ප්ලේන්” කරන්න. අන්න ඒ වෙලාවේ තමයි මට කිව්වේ ඔයා ඔය “එක්සෑම්” එක ලියන්නෙ නැහැනේ. ඔයා ෆයිනල්නේ කියලා. ෆයිනල් කෙනෙක්ට බැහැ ෆස්ට් ඉයර් කෙනෙක්ට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. ඊට පස්සේ මම හා කියලා නිශ්ශබ්දව බලන් හිටියා. මම අවුරුදු දෙකක්ම විභාගය පාස්කර කර ඉඳලා තමයි මිනිහව අල්ල ගත්තේ.



2010 ඔක්තෝබර් විභාගය තිබ්බේ. ඒ විභාගයේදී මට ඉතාම පැහැදිලිව නාමල් රාජපක්ස A/C කාමරයට යනවා දැක්කා. ඒකේ A/C කාමරය කියන්නෙ කොම්පියුටර් ලැබ් එක. ඕක පටන් අරගෙන තියෙන්නෙ නීති ශිෂ්‍යන්ගේ ‘අයිටී’ දැනුම වැඩි කරන්න. ඕක එක්සෑම් කාලෙ විවෘත කරන්නෙ නෑ. හැබැයි නාමල් රාජපක්ෂට විතරක් ඕපන් කළා. මම ඇස් දෙකෙන්ම දැක්කා නාමල් රාජපක්ෂ ඕකට යනවා. තව දෙන්නෙක් ඉන්නවා දැක්කා. ඒ දෙන්නා ලෝයර්ස්ලා. අනෙක් කාරණය තමයි මෙතැන තියෙන බරපතළම ප්‍රශ්නය, ලෝ කොලේජ් එකේ රූල්ස්වලට ඉතාම පැහැදිලිව තියෙනවා අපට එක්සෑම්වලදී ඉලෙක්ට්‍රොනික් අයිටම් තියාගන්න බැහැ කියලා. හැබැයි නාමල් රාජපක්ෂගේ මේසෙ උඩ කම්පියුටරයක් තිබ්බා අන්තර්ජාලයට සම්බන්ධ කරපු. අපි ගාව ෆෝන් එකක් ඔන් කරගෙන තිබුණත් විභාගය තහනම් කරනවා. එතැන තමයි ලොකුම ප්‍රශ්නය. ඊළඟ කාරණය අපි හැමෝම විභාග ලියන්නෙ දෙනෝදාහක් මැද්දේ. නාමල් රාජපක්ෂ විතරක් A/C කාමරය කවර් කරලා නීතිඥයෝ දෙන්නෙක් එක්ක තනිවම තමයි මේ ගේම් එක ගැහැව්වෙ. අනෙක් දේ තමයි ලෝ කොලේජ් එකේදී නාමල් රාජපක්ෂ දෙවැනි විභාගයයි අන්තිම එකයි දෙකම එකපාර ලිව්වා. එහෙම ලියන්න නීතියෙන් බාධාවක් නෑ. හැබැයි ඒක බොහෝම අමාරු වැඩක්. නාමල් රාජපක්ෂ සාමාන්‍යයෙන් විභාග ශාලාවට ඇවිල්ලා පැය එකහමාරින් යනවා. පැය තුනක පේපර් එකක් පැය එකහමාරින් ඉවර කරනවා කියන්නෙ  සාමාන්‍යයෙන් විශ්වකර්ම වැඩක් කියලා ලෝ එක්සෑම් ගැන දන්න ඕන කෙනෙක් දන්නවා.

ඉන් පස්සේ මේ තත්ත්වය බලාගෙන ඉන්න බැරි තැන තමයි 2010 දෙසැම්බර් මාසේ 03 වැනිදා මේ සිද්ධිය පැමිණිලි කළේ.

ඊට පස්සේ මම ඉල්ලීමක් කළා මේ විභාගය නවත්වලා පරීක්ෂණයක් කරන්න කියලා. හැබැයි ඒගොල්ලෝ ඒක කළේ නැහැ. එතැන එක්සැමිනස්ලා ලෝයර්ලාමයි. ඒ  අය මට කිව්වා. උඹ ඔළුව බේරගෙන මෙතැනින් එළියට ගිහිල්ලා ඕන එකක් කරපන් කියලා. ඉන්පස්සේ මම ඔෆිස් මැනේජර්ට කිව්වා. මිනිහා කිව්වා ඕක ප්‍රින්සිපල්ට ගිහින් කියන්න කියලා. එයා ගත්තේ නෑ. ඒ වෙනකොට රොද්‍රිගු හිටියේ නෑ. ඊළඟට මම ගියා නීතිපති එකට. නීතිපති සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ සාමාන්‍යාධිකාරි. ළඟට මිනිහා මේක ලියා ගත්තේ නෑ. මාව එයා අඳුරනවා. මාත් එක්ක කතා කරලා ෂේප් න්‍යායෙන් මේක මඟඅරින්න තමයි උත්සාහ කළේ. ඊට පස්සේ මම කෙහෙල්වත්ත පොලිසියට යනවා පැමිණිල්ලක් දාන්න. කෙහෙල්වත්ත පොලිසියේ අය කිව්වා නාමල්ට විරුද්ධව පැමිණිලි ලියාගන්න බෑ කියලා. ඕක ඊ-නිවුස් එකේ ගැහැව්වා. මම පොලිස් හෙඩ්ක්වාටර්ස් ගියහම මේක ආරංචි වෙලා තිබුණා. ඒ නිසා කෙහෙල්වත්ත පොලිසියට කතා කරලා මේ පැමිණිල්ල ලියාගන්න කිව්වා. ඔන්න ඔය විදිහට තමයි නාමල් එක්ක ඔය කේස් එකට පැටලෙන්නෙ.”

පොලිසියේ පැත්තෙන් ආපු ප්‍රතිචාර කොහොමද?

“පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මේ ඇහින් දුටු සාක්ෂි නෙවෙයි කවුරුහරි කියපුවා අහගෙන කියන්නෙ කියලා. මම ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මොකද නාමල් රාජපක්ෂ විභාග ශාලාවට යනවා මම ඇහින් දුටුවා. ඒ නිසා ඒක ඇසින් දුටු සාක්ෂියක්. ඍජු සාක්ෂියක් නීතිය ඉදිරියේ වලංගු සාක්ෂියක්. දෙවැනි කාරණය තමයි මම මේවා නිවැරැදිව පැමිණිලි කරලා තිබ්බා. මේ සිද්ධිය පැමිණිලි කිරීමෙන් පස්සේ ඊළඟට “බ්‍රයිබරි” කොමිෂන් එකට ගියා. 2010 දෙසැම්බර් මාසේ 04 වැනිදා. එතැනදී “බ්‍රයිබරි” කොමිෂන් එකේ පල්ලෙහා හිටපු කට්ටිය මේක ලියා ගන්න එක ප්‍රතික්ෂේප කළා. ඒ අය කෙළින්ම කිව්වේ ජනාධිපතිගෙ පුතාට විරුද්ධව පැමිණිල්ල ලියා ගන්න බෑ කියලා. පහළ කට්ටිය මෙහෙම කිව්වේ. ඒ අය කිව්වා උඩ ඉන්න ඉහළ නිලධාරියකුට කියන්න කියලා. කමිෂනර් ගාවට ගියා. මිනිහා මට කියනවා. ලොකු එකා පොඩි එකා ගිලින එක තමයි ස්වභාවය. ඒක පිළිගන්න බැරි නම් ඇරිස්ටෝටල්ට වෙච්ච දේ තමයි වෙන්නෙ කියලා. මම ඒ පාර ඇහැව්වා ඔයා මට මරණ තර්ජනද කරන්නෙ කියලා. ඉන් පස්සේ තමයි මේක නරක තැනකට ආවේ. මමත් මට පුළුවන් දේ කළා බී.බී.සී. සිංහල එකේ දාලා වලංගු තත්ත්වයක් ඇති වුණා. මම මේ පැමිණිල්ල දාලා දවස් දෙකක් යනකොට ලෝ කොලේජ් එකේ ඔෆිස් මැනේජර්ගෙන් කෝල් එකක් එනවා. පැමිණිල්ල අයින්කර ගන්න කියලා. එයාගෙ නම. මේ විස්තර “බී.බී.සී.” සන්දේශයේ ගියා.



ඔබට බලපෑම් ආවද?

“ඔව්! 2011 මාර්තු මාසේ 03 වැනිදා මාව කොහුවලදී පැහැර ගත්තා. 03 වැනිදා ඔවුන් පැහැරගෙන යන්න පෙර මාර්තු 02 වැනිදා එදිරිසිංහ පාරේ 3 පටුමඟේ කඩේ ළඟට ඇවිත් කඩේ අංකල්ගෙන් තොරතුරු අහලා තිබුණා මම ගැන. කඩේ අංකල් අපේ ගෙදරට කෝල් කරන්න හදනකොට මිනිහා මාරු වෙලා තියෙනවා. ඊට පහුවැනිදා තමයි මාව කොහුවලදී අරගෙන ගියේ. කොහුවල පොලිසිය ඉස්සරහදී තමයි මාව ගත්තෙ. 120 බස් හෝල්ට් එකේදී ඒගොල්ලෝ නවත්වලා ‘යමු කට උත්තරයක් ගන්න තියෙනවා කිව්වා.’ මම කිව්වා ‘එහෙම එන්න බෑ. එහෙම නම් පොලිස් නිල වාහනයක් ඕන කියලා. පස්සේ මිනිහා මට කිව්වා එහෙම එකක් නැහැ සිවිල් වාහනයක යමු, කියලා. බස් එක ආපු ගමන් මම දුවලා ගිහින් බස් එකට නැග්ගා. නැඟලා පොඩ්ඩ දුරක් ගිහිල්ලා පස්සෙ හැරිලා බලනකොට එක නිලධාරියෙක් ඉන්නවා. ඉන්පසු එයා කිව්වා කලබල කරන්නෙ නැතිව බහින්න කියලා. බැස්සහම මාව අරගෙන ගියා. එතැන ඇවිල්ලා පොලිස් ස්ථානයක් නෙවෙයි පෞද්ගලික ස්ථානයක්. එතැන තියාගෙන මාව පැය ගණනක් ප්‍රශ්න කළා.

ඒ වෙලාවේ ඒගොල්ලොන්ට දැනගන්න ඕන වුණේ මම කොහොමද “බී.බී.සී” එකට නිවුස් දුන්නෙ කියලා. ඒ වගේම මම කොහොමද ආසියානු මහා කොමිසමට තොරතුරු දුන්නේ කියලයි. ඒත් කාටවත් ඒ තොරතුරු දැනගන්න ලැබුණේ නැහැ. පස්සේ මාව ගෙනැල්ලා දෙල්කඳ කලර් ලයිට් ගාව දාලා ගියා. ඉන් පස්සේ මාර්තු මාසේ 20 මගේ ගෙදරට දෙන්නෙක් ආවා මෝටර් සයිකලයකින්. මම ඒ වෙලාව් ගෙදර ඉස්සරහ පඩියේ ඉඳගෙන හිටියේ. මට පයින් ගැහැව්වා. ගහපු පාර මාව වැටුණා. වැටුණට පස්සේ මගේ ඔළුවට පිස්තෝලයක් තියලා ඒ ආපු එකෙක් තර්ජනය කළා “උඹ ලොකු මිනිහෙක්ද… ලෙඩ දාන්න. උඹ උඹේ ගේ ඉස්සරහ සුදු කොඩි දාගනින්.’ ඊළඟට මට කිව්වා ඊ-නිවුස් එකේ වැඩ කරන කෙනෙක්ගෙ නමක් කියලා උෟටත් සුදු කොඩි දාගන්න කියපන්. ඒ වෙනකොට ඊ-නිවුස් කෙනා මට නිතරම කතා කරනවා. මගේ පස්සෙන් මාත් එක්කම හිටපු කෙනෙක් ඒ. ඊළඟට අප්‍රේල් 10 වැනිදා ආපහු ආවා. ඒ ආව එක නිලධාරියෙක් මුලින් ආපු කෙනෙක්. ඒ ඇවිල්ල මගෙන් බලෙන් කොළ දෙකකට අස්සන් ගත්තා. කොළ කියවන්න

දුන්නේ නැහැ. ඒවා ඉංග්‍රීසියෙන් තිබුණේ. මර බය හින්දා අස්සන් කළා. අස්සන් කරපු එකේ වොයිස් මැසේජ් එකක් මම චීෆ්් ජස්ට්ස්ට රෙකෝඩ් කරලා ඇරියා. මම මෙහෙම අසරණ තත්ත්වයක ඉන්නෙ. අද මගෙන් මෙහෙම කොළවලට අත්සන් ගත්තා. මම සැක කරනවා මේක පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්න කළේ. මම පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නෙ නැහැ. මේ පැමිණිල්ල මගෙන් බලහත්කාරයෙන් ගත්තෙ කියලා. මේක අදටත් ආසියානු මානව හිමිකම් වෙබ් සයිට් එකේ. ඒ වොයිස් ක්ලිප් එක අදටත් තියෙනවා. 2011 දෙසැම්බර් මාසේ 02දා මගේ යාළුවෙක්ගේ උදව්වෙන් හෝටලයක නැවැතිලා ඉන්නකොට ඒ හෝටලයට ඇවිල්ලා පහර දීමක් සිද්ධ වුණා. මේ සිද්ධියත් පොලිසියට පැමිණිලි කළා. ඒත් පොලිසිය කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ. ඒ සිද්ධිය එදාම බී.බී.සී. ලෝක සේවයෙත් ගියා. ඒ වෙනකොට රාජ්‍ය නොවන සංවිධානවලටත් ලංකාවෙන්

අයින් වෙන්න කියලා තිබුණේ. මේ දෙසැම්බර් මාසේ නාමල් රාජපක්ෂ දිවුරුම් දුන්නා. ඒ දිවුරුම් දීමේ විශේෂත්වයක් තියෙනවා. නාමල් දිවුරුම් දුන්නෙ අනෙක් අය වගේ නෙවෙයි. එයාට විශේෂ ඕපනින් සෙරමනි එකක් දීලා තිබුණා. ඒක අර සුවිශේෂී විදිහක්. ලෝයර්ලාගේ කාර් පාර්ක් වහල නාමල් එක්ක දහදෙනෙක් වගේ තමයි එදා දිවුරුම් දුන්නෙ. නාමල් නැකැතට තමයි දිවුරුම් දීම ලෑස්ති කරලා තිබුණේ. ඉතින් නාමල්ගෙ නම නැකැතට කියැවෙන්න තිබුණට සුප්‍රිම් කෝට් රෙජිස්ට්‍රාර්ට වැරැදිලා නාමල්ගේ නම වැරැදිලා ඉස්සරවෙලා කිව්වා. ඒ වෙලාවේ නාමල් නැඟිට්ටේ නෑ. ඊළඟට නාමල් රාජපක්ෂට අවස්ථාවක් දුන්නා ශිරාණි බණ්ඩාරනායක එක්ක චේම්බර් එකට ගිහිල්ලා ෆොටෝ ගන්න. මම අහලා තියෙන විදිහට ලංකාවේ කවදාවත් නීති ශිෂ්‍යයකුට ඒ වගේ අවස්ථාවක් දීලා නැහැ. මහින්ද රාජපක්ෂ, ශිරන්ති හිටියා.”

රට ගියේ ඔය බයටද?

“මගේ දැඩි ස්ථාවරය වුණේ මොන දේ වුණත් ලංකාවෙන් යන්නෙ නැහැ. ඒත් මට උදවු කළ රාජ්‍ය නොවන සංවිධානවල අයට, හිතවතුන්ට මාව රැකගන්න අමාරු වුණා. ඉන්පස්සේ ඔවුන් මාව ජයලත් ජයවර්ධනට හඳුන්වා දුන්නා. ජයලත් ජයවර්ධන ගාවට ගියේම ආරක්ෂිතව තැනක් හොයාගෙන ඉන්න. එහෙම නැතිව පිටරටකට යන්න එහෙම නෙවෙයි. ඉන්පස්සේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා ළඟට ගිහිල්ලා ඉල්ලීමක් කළා. මට ආරක්ෂාව හදලා මේ වැඩේ කරගෙන යන්න උදවු කරන්න කියලා. ඔහු කිව්වා එයාට ඒක කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ සිද්ධිය දැන් ගොඩක්ම ඔඩුදුවලා ඉවරයි. ඔයා රටෙන් යන එක තමයි ඔයාට තියෙන හොඳම විසඳුම කියලා. ස්විට්සර්ලන්තයට යන්න



හදලා දුන්නා. රනිල් වික්‍රමසිංහ ළඟට ජයලත් ජයවර්ධන මාව එක්කගෙන ගිහිල්ලා මට අවශ්‍ය ආරක්ෂාව සපයලා, ප්ලේන් එකට නඟිනකම්ම ආරක්ෂාව දුන්නා. මට ඒ වෙලාවේ ඇත්තටම රැකවරණයක් වුණේ එතුමයි. සිරිකොතට ගිය වෙලාවක ජයලත් ජයවර්ධන මහත්තයා කිව්වා “ඔයා අපේ ආණ්ඩුවක් ආපු වහාම ආයේමත් එන්න” කියලා. එතකොට රනිල් වික්‍රමසිංහ හිනාවෙලා කිව්වා “අපෝ අපෝ තමුසේ ආයේ මේ පැත්ත පළාතක එන්න එපා. එහෙම ආවොත් මම නෙවෙයි ගහලා එළවන්නෙ මේ අය” කියලා වටේ අයව පෙන්නුවා. රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය සමඟ මම කවදාවත් එකඟ නෑ. නමුත් ඔහු ඒ වෙලාවේ මාව ආරක්ෂා කරන්න කළ හැකි හැමදේම කළා. මම ඒ ප්‍රශ්නයත් එක්ක ගොඩක් ලෙඩ වුණා. දැනටත් මම ප්‍රතිකාර ගන්නවා. මරණ බය ඇති කළා නෙමෙයි, මම මරණයෙන් බේරුණේ පුදුම විදිහට. ඒ කම්පනය ලේසි නෑ.”

ලංකාවට එන්න අදහසක් නැද්ද?

“තමන්ගෙ උපන් රට තරම් වටින දෙයක් නෑ. මම කැමතියි ලංකාවට එන්න. මම ස්විට්සර්ලන්තයට ආවා කියලා ලබපු දෙයක් නෑ. ලංකාවේදී නොලැබුණු මෙහෙදි ලබපු එකම දේ තමයි නිදහසේ හිතන්න ලැබුණු එක. ප්‍රජාතන්ත්‍රවාදය මොකද්ද කියන එක මට මෙහේදි තේරුණා. මට තිබුණු භෞතික පහසුකම් ටික ලංකාවේ අපේ ගේ ඇතුළේ මට තිබුණා. තවමත් මම කල්පනා කරනවා මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් දෙනව නම් පොලිස් පරීක්ෂණයක් තියන්න ඕන “ටෝච” කිරීම සම්බන්ධයෙන්. පැහැරගෙන යෑම, පහර දීම සම්බන්ධයෙන්. නාමල්ට නීති විද්‍යාලයේදී නීති විරෝධී ලෙස විභාගය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඕන. ඒකෙන් මට ලොකු හානියක් වුණා. නාමල්ව ශේ‍ර්ෂ්ඨාධිකරණයට කැඳවලා විනය කමිටුවකට කැඳවලා ඔහු මේ කළ විභාග වංචාව සම්බන්ධයෙන් විභාගයක් කරලා ඔහුගේ නම නීතිඥ ලේඛනයෙන් ඉවත් කරන්න ඕන.

මේ ඉල්ලීම මම මේ වෙනකොට හතර සැරයක් විතර විවිධ අගවිනිසුරුවරුන්ට කළා. ඒවා ලැබුණාය කියලවත් දැනුම්දීමක් කළා, පොලිස්පතිවරුන්ට ලිව්වා. පිළිතුරු නෑ. වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ මේ ගැන කතා කළා. මම හිතනවා ඔවුන් නිවැරැදි පරීක්ෂණයක් කරනවා නම් මම ලංකාවට ඇවිල්ලා සාක්ෂි දෙනවා. නාමල්ට මේ දේට උදවු කළ හැම කෙනාටම දඬුවම් දෙන්න ඕන. මොකද නීති විද්‍යාලය වගේ තැනක මෙහෙම දේවල් වෙන්න බෑ. ඒ අය තමයි හෙට නඩුකාරයෝ වෙන්නේ. රටේ බොහෝ දේවල්වලට මැදිහත් වෙන්නෙ.

ටිරන් කුමාර බංගගමආරච්චි (මව්බිම)