national-institiute-education

 මහරගම පිහිටි ජාතික අධ්‍යාපන ආයතනයේ ඉහළ තනතුරු දෙකකට අදාළ සුදුසුකම් සපුරා නැති නිලධාරින් දෙදෙනකු පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබේ.

ජාතික අධ්‍යාපන ආයතනයේ ඉංග්‍රීසි අංශයේ ප්‍රධාන ව්‍යාපෘති නිලධාරි තනතුරට සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරකට පත්ව සිටින නිලධාරින් ඌන සුදුසුකම් සහිත නිලධාරින් බව රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කිරිමෙන් පසුව, අධ්‍යක්ෂ ජනරාල් නීතිපතිවරයාගෙන් එම උපදෙස් ඉල්ලා තිබේ.


රජයේ විගණකාධිපතිවරයා විසින් 2022 වසරේ අවසන් විගණන වාර්තාව මගින් එම ඉහළ තනතුරු දෙක සඳහා බඳවාගෙන ඇත්තේ ඌන සුදුසුකම් සහිත නිලධාරීන් බව තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුවක් ද පත් කර තිබේ.


එම ස්වාධීන ත්‍රිපුද්ගල කමිටුව මගින් අධ්‍යයනයක් කර විගණකාධිපති වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු සනාථ කර තිබෙන අතර,

එම කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙම පුද්ගලයන් පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසය.මෙම නිලධාරීන් ජාතික අධ්‍යාපන ආයතනයට  වසර ගණනාවකට පෙර බඳවාගෙන ඇති අතර, ඔවුන් පියවරෙන් පියවර ඉහළ තනතුරු සඳහා පත් කර තිබේ.විධිමත් පත්වීම් ලිපි ලබා නොදීම, ඇතැම් නිලධාරින්ට වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා දීම, දේශීය අධ්‍යාපන කටයුතු සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීම ඇතුළු වරප්‍රසාද ලබා දී තිබෙන බව ද විගණන වාර්තාව මගින් හෙළිදරව් කරගෙන තිබේ.


මේ අතරින් රජයේ විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම හා ඊට අදාළ හේතු ඉදිරිපත් කිරීම සඳහා මෙම ඉහළ නිලධාරින් දෙදෙනා පෙරේදා (16) ජාතික අධ්‍යාපන ආයතනයේ රැස්වීම් ශාලාවේ රැස්වීමක් පවත්වා තිබෙන බව ද වාර්තා විය.ජාතික අධ්‍යාපන ආයතනයේ සේවකයන් බහුතරයක් කැඳවා කාර්යාල වේලාව තුළ එවැනි රැස්වීමක් පැවැත්වීම පවා අනීතික එකක් යැයි ද, ජාතික අධ්‍යාපන ආයතනයේ ඇතැම් නිලධාරීහු පවසති.මෙම නිලධාරීන්ගේ පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වයා ඉකුත් ජුනි මාසයේදී නීතිපතිගේ උපදෙස් ඉල්ලා තිබිණ,
(රංජන් කස්තුරි)