new-speaker-jagath-wicremaratne

අශෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයකු පත්කර ගැනීම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදුවිය.


මුලින් පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙර කතානායක අසෝක රන්වල සිය ඉල්ලා අස්වීම ගැන පාර්ලිමේන්තුවට එවා තිබූ ලිපිය කියවූවාය.අනතුරුව අලුත් කතානායක කෙනෙකු පත්කරගන්නා අවස්ථාව උදාවී ඇති බැවින් නම් යෝජනා කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයා දැන්වීය.
එහිදී කථානායක ධුරය සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ නම අගමැති හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබූ අතර එය ස්ථිර කරනු ලැබුවේ ඇමැති බිමල් රත්නායක විසිනි.
සජබ නලින් බණ්ඩාර පෙර ප්‍රකාශ කර තිබූ පරිදි තවත් නමක් යෝජනා වූයේ නැත.



කථානායක ධුරය සඳහා වෙනත් නාම යෝජනා ඉදිරිපත් නොවූ නිසා ඔහු නිතරගයෙන් කථානායක ධුරය සඳහා තේරී පත්විය.

වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය උපාධිය කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයෙන් ලබාගත් අයෙකි. ඔහුගේ සේවා කාලය වසර 26 ක් වන අතර ඉන් පසුගිය 10 වසරම වෙන්ව ඇත්තේ වෛද්‍ය පරිපාලකයෙකු නැතහොත් රෝහල් අධ්‍යක්ෂ යන නිල නාමය යටතේය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාජබ යටතේ මනාප ඡන්ද සංඛ්‍යාව 51391 ලබාගත් අතර එම දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනියා ලෙස තේරී පත්විය.
පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.