nuwara-eliya-murder

නුවරඑළිය ලංගම ඩිපෝවේ ආරක්ෂක නිලධාරියෙකු ඝාතනය කර රුපියල් ලක්ෂ 10ක පමණ මුදලක් කොල්ලකෑ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 06 වැනි දින අලුයම සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් එදින දහවල් වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු එම ලංගම ඩිපෝවේ සේවකයන් බව පොලීසිය තහවුරු කර ඇත. ඉන් එක් අයෙකු මුදල් අයකැමිවරයෙකු ලෙසද, අනෙක් පුද්ගලයා පට්ටිපොළ - නුවරඑළිය මාර්ගයේ ලංගම බස් රථයේ රියදුරෙකු ලෙසද සේවය කර ඇත.

සැකකරුවන් බදුල්ල, රේනදපොළ සහ මහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ වයස් පිළිවෙලින් අවුරුදු 34, 41 සහ 55 බව වාර්තා වේ. කොල්ලකෑ මුදල්වලින් කොටසක් වියදම් කර උකස් කර තිබූ රන් ආභරණ බේරාගෙන ඇති බවද තොරතුරු අනාවරණය වී තිබේ.

ඊයේ (07) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.