පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරැදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරන සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානි ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) කැදවා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය.
ඉන් අනතුරුව සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානින්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන්
අපහාසයක් සිදු වූ බව පවසමින් හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය. එම දෙපාර්තමේන්තුව මෙම පරික්ෂණය ආරම්භ කළේ ඒ අනුවය. සිද්ධිය පිළිබඳව පරික්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ අදාළ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.
(සුජිත් හේවාජුලිගේ)
0 Comments