මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරුන්ගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිවරියගේ ආරක්ෂාව සඳහා ලබා දී ඇති ත්‍රිවිධ හමුදාවේ සියලුම භට පිරිස් එම කටයුතුවලින් ලබන සතියේ සිට ඉවත් කරන බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවැසීය.
එම හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය මාස එකොළහ හමාරක කාලයේදී රුපියල් එකසිය හතළිස් හතර කෝටි අසූ ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.මෙය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කර කළ වෙනස්කමක් නොවේ යැයි පැවැසු අමාත්‍යවරයා, ආරක්ෂක තත්ව වාර්තාව සැලකිල්ලට ගෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ කාර්යමණ්ඩලවල ආරක්ෂාව ප්‍රමිතිගත කිරීමක් කරන බව ද සඳහන් කළේය.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව, මාස හයකට
වරක් කැඳවන තක්සේරු වාර්තාවකට අනුකූලව වරින් වර සංශෝධනය කරන බවත්, හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව මෙසේ අඩු කිරීමෙන් මහජන මුදල් රුපියල් කෝටි 120ක් පමණ ඉතිරි කරගැනීමට හැකි වන බවත් විජේපාල මහතා පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේප්පාල මහතා මෙසේ ද පැවැසීය.
“මේක මහින්ද රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන කරපු දෙයක් නොවේ. ජනාධිපතිවරුන්ගේ සහ කාර්යමණ්ඩලවල ආරක්ෂාව ප්‍රමිතිගත කිරීමක් තමයි අපි මේ කළේ. විශේෂිත නිර්ණායක අනුව. හිටපු ජනාධිපතිවරුන් ගැන පෞද්ගලිකව හිතාමතා ගත් තීරණයක් නොවේ. අදටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පොලිසියේ හැටක් සහ ත්‍රිවිධ හමුදාවේ 227ක් ලැබෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට හමුදා නිලධාරින් හතරක් සහ පොලිස් නිලධාරීන් හැටක් ආරක්ෂාවට යොදවා තිබෙනවා. ගෝඨාභය හිටපු ජනාධිපතිතුමාට අදත් ත්‍රිවිධ හමුදාවේ එකසිය අසූ අටක් සහ පොලිස් නිලධාරීන් 23ක් යොදවලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපතිවරයාට හමුදාවේ පනස් හතක් සහ පොලිස් නිලධාරීන් හැටක් වශයෙන් 117ක් ආරක්ෂාවට යොදවා සිටිනවා. චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක මහත්මියට පොලිස් නිලධාරීන් හැටක් ද, හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියට පොලිස් නිලධාරීන් දහයක් ද යොදවා තිබෙනවා.
මේ වසරේ පසුගිය මාස එකොළහ හමාරක කාලයේදී විශ්‍රාමික ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට විශාල වැය බරක් රජය දරලා තියෙනවා. මේවා මහජනතාවගේ මුදල්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ආයතන තුනකින් ආරක්ෂාව සපයා තියෙනවා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ජනාධිපති කාර්යාලය. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට පමණක් පසුගිය මාස එකොළහ හමාරක කාලයේදී විතරක් තිස් දෙකෝටි විසි අට ලක්ෂයක් වැය කරලා තියෙනවා. ඒ වගේම පොලිසිය වෙනුවෙන් තිස් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වැය කරලා තියෙනවා. ජනාධිපති කාර්යාලයෙන් රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් වැය කරලා තියෙනවා. ඒ අනුව රුපියල් කෝටි හැත්තෑ එකක් වැය කරලා තියෙනවා.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව යෙදවීම වෙනුවෙන් ලක්ෂ හැටක් ද, පොලිසිය සඳහා රුපියල් දහඅට කෝටි පනස් ලක්ෂයක් ද, ජනාධිපති
කාර්යාලයෙන් එක් කෝටි හැට ලක්ෂයක් ද වශයෙන් රුපියල් විසිකෝටි හැත්තෑ ලක්ෂයක වැය බරක් දරා තිබෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට රුපියල් විසිපන් කෝටි අසූ ලක්ෂයක් ද, පොලිසිය වෙනුවෙන් තුන්කෝටි අනූ ලක්ෂයක් ද, ජනාධිපති කාර්යාලයෙන් කෝටියක් ද වැය කරලා තියෙනවා. සම්පූර්ණ වැය බර තිස් කෝටි හැත්තෑ ලක්ෂයක්.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවට එක් කෝටි අනූ ලක්ෂයක් ද, පොලිසිය වෙනුවෙන් කෝටි හයක් ද, ජනාධිපති කාර්යාලයෙන් ලක්ෂ තිහක් ද වශයෙන් මාස තුනට අට කෝටි විසි ලක්ෂයක් දරලා තියෙනවා.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය වෙනුවෙන් පොලිසිය සඳහා නවකෝටි අනූ ලක්ෂයක් ද, ජනාධිපති කාර්යාලයෙන් එක්කෝටි විසි ලක්ෂයක් ද වශයෙන් කෝටි එකොළහක් වැය කර තිබෙනවා.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසියට රුපියල් කෝටි තුනක් ද, ජනාධිපති කාර්යාලයෙන් ලක්ෂ තිහක් ද වශයෙන් තුන් කෝටි විසි ලක්ෂයක් වැය කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන් සහ ජනාධිපති ආර්යාව වෙනුවෙන් පසුගිය මාස එකොළහ හමාරට රුපියල් එකසිය හතලිස් හතර කෝටි අසූ ලක්ෂයක් වැය කර තිබෙනවා. මේවා ජනතාවගේ මුදල්. ජනතාව පීඩාවෙන් ජීවත්වන වටපිටාවක මෙවැනි මුදලක් වැය කරලා තියෙනවා.
එම ආරක්ෂාව ප්‍රමිතිගත කරන්න ඕනෑ කියලා විශේෂඥයන් නිර්දේශ කරලා තියෙනවා. පොලිසිය ආරක්ෂාව සම්බන්ධයෙන් කළ තක්සේරුව අනුව මෙසේ ආරක්ෂාව වෙනස් කරනවා. විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හමුදා නිලධාරීන් මොකටද කියලා කියන්න වෙනවා. සුනඛයන් බලාගන්න ද, සුනඛයන් නාවන්න ද කියලා අහනවා. සුනඛයන් අසනීප වුණාම ඉස්පිරිතාලෙට ගෙනියන්න ද කියලා ප්‍රශ්න කරන්න වෙනවා. සමහර සෙබළුන් මේ කටයුතු සඳහා යොදවලා තිබෙන බව මේ රටේ කවුරුත් දන්නවා. අප ජනවරමේ අරමුණ අනුව කටයුතු කරනවා. කිසිම කත් කෙඳිරියකට හෝ තර්ජනයකට අනුව මේ අලුත් ආරක්ෂාව වෙනස් නොකරන බව කියනවා.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක කටයුතුවලින් ලබන සතියේ සිට පොලිසියේ ආරක්ෂාව හැර ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් ඉවත් කරනවා. මාස හයකට වරක් ආරක්ෂක තක්සේරුවකින් පසු ඊට අනුකූලව ආරක්ෂාව සැපැයීමට කටයුතු කරනවා. මේ අයුරින් කටයුතු කිරීමෙන් රුපියල් කෝටි 120ක් අපට ඉතිරි කරගන්න පුළුවන්.
තක්සේරු වාර්තාව අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිස් නිලධාරින් හැටක් ලබා දෙනවා. ඒ වගේම පොලිසියේ වාහනයක් සහ ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් ලබා දෙනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට පොලිසියේ නිලධාරීන් හැටකුත් පොලිසියේ වාහනයක් සහ ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් වෙන් කරනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පොලිසියේ විසි දෙකක්, පොලිස් වාහන එකක් සහ ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් යෝජනා කරලා තියෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොලිසියේ හැටක්, ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් සහ පොලිසියේ වාහනයක් දෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට පොලිසියේ හැටක්, පොලිසියේ වාහනයක් සහ ජනාධිපති කාර්යාලයේ වාහන තුනක් දෙනවා. හේමා ප්‍රේමදාස මැතිනියට පොලිසියේ දහයක්, පොලිසියේ වාහනයක් සහ ජනාධිපති කාර්යාලයේ වාහන දෙකක් යෙදවීමට තීරණය කර තිබෙනවා. අපේ අරමුණ මේ රටේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව පමණක් නොව සමස්ත ජනතාවගේම ආරක්ෂාව සැපැයීමයි.
( අංජුල මහික වීරරත්න)
0 Comments