ආනයනික සහල් වරායට ළඟා වී පැය 4 ක් තුළ නිදහස් කිරීමට කටයුතු කරන බවත් ආනයනය කළ හැකි සහල් වරිඟයක් නම් කර තිබේ නම් එය ද පරීක්ෂා කරන බවත් ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (5) පැවසීය.
කොළඹ රේගු මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සීවලී අරුක්ගොඩ මහතා එසේ කීය.රටේ ඇති වී තිබෙන සහල් ගැටලුවත් සමඟ ආණ්ඩුව සහල් මෙට්‍රික්ටොන් 70,000 ක් ආනයනය කිරිමට තීරණය කර ඇති බවත් එම සහල් තොගය ආනයනය කළහොත් කන්ටේනර් – 2,500 ත් 3,000 ත් අතර සංඛ්‍යාවක් වරායට පැමිණිය යුතු බවත් අරුක්ගොඩ මහතා පැවසීය.
සහල් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් කොළඹ වරායට ළඟාවුවහොත් ඒවා පැය හතරක් තුළ නිදහස් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව කී අරුක්ගොඩ මහතා ඒ සඳහා ආහාර පරික්ෂකවරුන්ගේ සහයෝගය ගන්නා බව ද සඳහන් කළේය.
රේගුව 2020 වසර වන විට වරායට එන බහලුම්වලින් සියයට 75 ක් පමණ පරික්ෂා කළ ද අවදානම් කළමනාකරණ මූලධර්මයට අනුව වර්තමානය වන විට වරායට එන බහලුම්වලින් සියයට 25 ක් පමණක් පරීක්ෂා කරන බවත් පසුගිය වසරේ පමණක් බහලුම් පරික්ෂා කිරීමෙන් පමණක් රුපියල් බිලියන 21 ක් හෙවත් කෝටි 2,100 ක ආදායම් ලැබූ බවත් අරුක්ගොඩ මහතා පැවසීය.
බහලුම් නිදහස් කිරිමේදී මහ පාරේ ඇති වී තිබූ තදබදය මේ වන විට වරාය තුළට පමණක් සීමා වී ඇති බව කී ඒ මහතා බහලුම් නිදහස් කිරීම මේ වන විට අංගණ තුනකින් පමණක් ක්‍රියාත්මක වුවද ලබන සතියේ සිට තවත් අංගණයක් එකතු වීමෙන් සහ තවත් දොරටුවක් විවෘත කිරීමෙන් තදබදය තවත් අඩුවන බව ද කීය.ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ රුපියල් ට්‍රිලියන 1.53 ක ආදායමක් බලාපොරොත්තු වන බවත් රේගුව මේ වන විට රුපියල් ට්‍රිලියන 1.38 ක ආදායමක් උපයා ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
(යොහාන් භාසුර)
0 Comments