රුපියල් ලක්ෂ 90ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ තමාගේ සහෝදරයෙකු වන බැවින් එම නඩු කටයුත්ත වෙනත් විනිසුරුවරයෙකු යටතේ විභාග කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා යවා තිබේ.
අල්ලස් සිද්ධීන්වලට අදාළ නඩු කටයුතු විභාගයට ගැනීම තම අධිකරණයට පැවරී ඇති කටයුත්තක් නමුත් ඉහත සඳහන් කළ කරුණ හේතුවෙන් එම නඩු කටයුත්ත විනිශ්චය කිරීමට තමාට හැකියාවක් නොමැති බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
එම නඩුව විභාගයට ගැනීම සඳහා වෙනත් සුදුසු මහේස්ත්රාත්වරයෙකු පත්කරන ලෙසද ඉල්ලා සිටින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය ලිපිය මගින් වැඩිදුරට ත් පෙන්වා දී ඇත්තේ එම නඩු කටයුත්ත සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හෝ තමාගේ කිසිදු සබඳතාවක් නොමැති බව ය.
රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රි සලෝචන ගමගේ ඇතුළු සැකකරුවන් දෙදෙනා ඉකුත් 28 වන දා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජනවාරි මස 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
කෝට්ටේ, මාදිවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එහි විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් මාදිවල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
0 Comments