සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (28) රාත්‍රී කාලයේ කඩාවැදී නිවෙසේ සිටි ව්‍යාපාරිකයකු ඝාතනය කර,ඔහුගේ වයෝවෘද්ධ පියාට සහ ඔහුගේ සහෝදරයාට තුවාල කළ ඝාතකයන් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ කාන්තාවක බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
කාන්තාවක ලෙස වෙස් වළාගත් පිරිමියකු මෙම මෝටර් රථය පදවාගෙන ආවේ. දැයි පොලිසිය සොයා බලාගෙන යයි.කිසියම් පුද්ගලයකු විසින් දෙනු ලැබූ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර බවට සැක කෙරෙන බව පොලිසිය කියයි. මේ හා සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කරගැනිමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
වෙඩික්කරුවන් පැමිණි බව කියන සුදු පැහැති මෝටර් රථය කෝවින්න ප්‍රදේශයේ අතහැර දමා, එයට ගිනි තබා තිබියදී පොලිසියට එදිනම රාත්‍රියේ හමු වී ඇත. මෙම රථයට සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. සාක්ෂි වසන් කිරීමේ අරමුණින්, වෙඩි ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි අය මෙම මෝටර් රථයට ගිනි තබා ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදී මියගොස් ඇත්තේ, සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි, පනස් හතර හැවිරිදි, එන්.ටී. ප්‍රසන්න නමැති ව්‍යාපාරිකයකු බව පොලිසිය සඳහන් කරයි.මොහු වෙනත් ව්‍යාපාර ද කරගෙන යන අතරවාරයේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට දීම ද
සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි. ඝාතකයන්ගේ තොරතුරු ඉලක්කය කරගැනීමට වන්නට ඇත්තේ ප්‍රසන්න මහතා විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.
මුදල් පොලියට ලබා දීමේ සිද්ධියක් මෙම ඝාතනයට හේතු වූයේ දැයි යන්න ගැන ද පොලිසිය සොයා බලාගෙන යයි.වෙඩි වැදී මියගිය ප්‍රසන්න මහතා, ඔහුගේ පියා වන අවුරුදු 74ක් වයස නොයෙල් ප්‍රනාන්දු මහතා සහ ප්‍රසන්න මහතාගේ සහෝදරයකු වන අවුරුදු 45ක් වයස වසන්ත ප්‍රනාන්දු මහතා සමග ගෙවත්තේ ගරාජය අසල කතාබහ කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.
වෙඩි වැදී බිම ඇදවැටුණු තිදෙනාම මීගමුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරික්ෂා කර බලා ප්‍රසන්න මහතා මියගොස් ඇති බව දැනුම් දී ඇත. බරපතළ තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලමින් පසු වන 74 හැවිරිදි නොයෙල් ප්‍රනාන්දු මගී ප්‍රවාහන බස් රථ කිහිපයකම අයිතිකරුවකු වන අතර, එම මගී ප්‍රවාහන බස් රථ සේවා කටයුතු මේ වන විට මෙහෙය වන්නේ වසන්ත ප්‍රනාන්දු මහතා යැයි පැවැසේ.
බස් රථ කිහිපයකම හිමිකරුවකු නිසා මෙම අය පදිංචි නිවෙස හඳුන්වනු ලබන්නේ 'බස් ගෙදර' යැයි කියාය.
මුදල් පොලියට ලබා දීමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් එම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරන නමුත්, වෙනත් සිද්ධියක් මෙයට බලපෑවේ ද යන්න ගැන ද සීදුව පොලිසිය සොයා බලාගෙන යයි.මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සුදු පැහැති මෝටර් රථයේ සිවු දෙනකු සිට ඇති බවට ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.
ඝාතකයන් ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.අවට පිහිටි නිවාස සහ වෙළෙඳසල්වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර, ඝාතකයන් දෙදෙනා සහ ඒ සඳහා උදව්වට පැමිණි අනෙක් දෙදෙනා හඳුනා ගැනීමට වෙනම පොලිස් කණ්ඩායම් පත් කර ඇත.ඝාතකයන් හෝඩුවාවක් ලබා ගැනීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇත.
වෙඩි වැදීම නිසා බරපතළ තත්වයේ පසු වන බැවින් පියාගෙන් සහ පුතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර, තවමත් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසියට නොහැකි වී ඇත. පලා ගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
0 Comments