අපරාධයක් සිදුකළ පුද්ගලයකු අපරාධය සිදුකළ සැණෙන් එතැනින් පලා යෑම සාමාන්‍ය සිරිතකි. ඔහු එලෙස පලා යන්නේ පොලිසියට කොටු නොවී බේරීමේ අරමුණෙනි.එහෙත් සමහර අපරාධකරුවන් අපරාධය සිදුකළ සැණින්ම පොලිසියට කොටුවේ. එසේත් නැතහොත් අහඹු සිදුවීමකින් ඔහු අත්අඩංගුවට පත්වේ. නොඑසේ නම් වෙනත් පිරිස් අපරාධකරු අල්ලා පොලිසියට භාර දෙති. මෙයද ඊට සමාන වූ තවත් කතාවකි. පුද්ගලයකුට පහර දී ගෙල මිරිකා මරා දැමූ අයකු එම ඝාතනය සිදුකොට පලාගොස් සිටියදී ඔහු පැය භාගයක් යන්නත් මත්තෙන් කොටු වූ ආකාරයයි මේ.
සීදුව විලේජ් නිවාස සංකීර්ණයේ දෙවැනි පටුමගේ අලුතින් ඉදිකෙරෙමින් පවතින නිවෙසකි. එම නිවෙස වටා තාප්පයක් ඉදිකිර්මට එම ඉඩම හිමිකරුවන්ගේ අවශතාව විණි. ඉඩමේ අබලන් වූ කුඩා නිවෙසක්ද ස්ථාපිත වී තිබේ.
තාප්පය ඉදිකිරීම භාර දෙනු ලැබුවේ ඒ අවට පදිංචි පෙදරේරුවන් දෙදෙනකුටය. ඒ සඳහා අත් උදව්කරුවන් ලෙස ගෝලයන් දෙදෙනකුද වූහ. එම සිවුදෙනාගෙන් එක් පෙදරේරුවකු එම අබලන් නිවෙසේ නතර වී තාප්පය ඉදිකිරීමට එක් විය. ඔහු නිහාල් බාස්ය. නිහාල් කලක් යුද හමුදාවේ සේවයකොට විශ්‍රාම ගිය අයෙකි.
මේ අතර එම තාප්පය ඉදිකරන ස්ථානයට නුදුරුව තවත් පෙදරේරුවකු වෙනත් ගොඩනැඟිල්ලක පින්තාරු වැඩ කරමින් සිටියේය.
ඔහුගේ අඋදවුකරු වූයේ “බබා” නමැත්තෙකි. සමහරු ඔහුව බබා ලක්ෂ්මන් යනුවෙන්ද හඳුන්වති. ඔහුද විශ්‍රාමික යුද හමුදා සෙබළෙකි. මේ හැමෝම යාළුවෝය. ඔවුහු එකට කන බොන අඩි ගහන මිතුරෝය.
ඒ ඉකුත් උඳුවප් පොහෝය දිනයයි. පොහොය දිනය වුවද පෙදරේරුවෝ තාප්පය බැඳීම දිගටම කරගෙන ගියහ. එහෙත් එදා නිහාල් බාස් තාප්පය ඉදිකිරීමේ වැඩට එක්වූයේ නැත. ඔහු වත්තේ ඇති අබලන් නිවෙසට වී කල් ගත කළ අතර, සෙසු තිදෙනා තාප්පයේ වැඩ නිම කරන්නට පටන් ගත්හ.
වැහි බරින් අහසද කළු වී තිබිණි. කොයි මොහොතක හෝ වැස්සක් කඩාපාත් වේ යැයි ඔවුහු සැක කළහ. එහෙත් ඔවුන් සිය කාර්යය නතර කළේ නැත. වැස්ස කඩා හැලෙන්නට කලියෙන් තවත් ගල් බැමි දෙක තුනක් හෝ බැඳ නිම කිරීම ඔවුන් තිදෙනාගේ අදිටන විය. බබා ලක්ෂ්මන් වත්තට ඇතුළු වූයේ ඔය අතරය. ඒ මත්පැන් බෝතලයක්ද අතැතිවය. බබා ඒ ආසන්නයේ සිටින පින්තාරු බාස්ගේ ගෝලයාය.
“අද අඩියක් ගහන්න කියාපු දවස." එසේ කියමින් ඔහු අබලන් වූ නිවෙස වෙත පිය නැඟීය.
“අපි මේ වැඩේ ඉවර කරලම එන්නම්, උඹ බීපන්."
තාප්පය ඉදිකරමින් සිටි පෙදරේරු මිතුරා බබාට කීය.
බෝතලය කැඩූ බබා අබලන් නිවෙසේ සිටි නිහාල් බාස්ව ඊට එක්කර ගත්තේය.
වීදුරු දෙක තුනක් කටට හලාගනිද්දී දෙන්නාගේ මාතෘකාව වූයේ යුද හමුදාවේ සිටියදී කළ කියුම් කෙරුම්ය. ඒ සමඟ මොර සූරන වැස්සක්ද කඩාවැටෙන්නට විය. සිය ඉදිකිරීම් කටයුතු නතර කළ සෙසු තිදෙනාද වැස්සෙන් බ්රේම සඳහා අබලන් නිවෙස වෙත දිව ආහ. ඒ වන විට බෝතලයේ භාගයක් හිස්වී තිබිණි. ඒ වන විට නිහාල්ගෙයි බබාගෙයි කයිවාරුව අවසන්ව තිබූ අතර වෙරිව සිටි බබා තද නින්දකටද වැටී සිටියේය. ඉතිරි කොටසට සෙසු තිදෙනාද වගකියන්නට පටන් ගත්තේ එතැන් පටන්ය.
මොහොතකින් පදමට වෙරිවී තද නින්දක වැටී සිටි “බබා” යළි අවදිව මත්පැන් පානය කරමින් සිටි සෙසු මිතුරන් සමඟ එක්විය.
තවත් උගුරක් දෙකක් දමාගත් බබා යළි පරණ මාතෘකාවම ඇද ගනිමින් නිහාල් අයියා සමඟ වාදයකට පැටලුණේය. නිහාල් ඔහු හමුදාවේ සේවය කළ කාලයේ කළ කී දේ කියද්දී බබා ඊට නොදෙවැනිව ඔහුගේ හමුදා සේවය ගැන කියන්නට විය.
ටික මොහොතක් ගතවෙද්දී තත්ත්වය උග්‍ර විය. ඒ දෙන්නාගේම රතු කට්ට පැන තිබූ නිසාය. කතාබහ දුරදිග ගියේය.
බබා සහ නිහාල් ගුටිබැට හුවමාරුවකටද මැදි විය. එහෙත් සෙසු තිදෙනා දෙන්නාගේ රණ්ඩුව මැදට ගියේ නැත.
ඔවුනු මත්පැන් බෝතලය හිස් කරන්නට වූහ. බබා ඒ අසල තිබූ යකඩ පොල්ලක් අතට ගත්තේ ඔය අතරය. මොහොතකින් පොලු පහර කෑ නිහාල් බාස් එකවරම බිම ඇදගෙන වැටිණි. බීමතින් සිටි මිතුරන් නිහාල්ව එතැනින් ඉවත්කොට ඒ අසල තිබූ පුටුවක හිඳුවේය. එහෙත් නිහාල් කතාබහක් හැලහොල්මනක් නැත. “වතුර ටිකක් අරන් වරෙන්” බාස්ගේ උපදෙස් මත ගෝලයකු නිහාල්ට වතුර පෙවීය. ඒත් වතුර නිහාල්ගේ කට දෙපැත්තෙන් ගලා ගියේය.
"නිහාල්... නිහාල්... නැඟිටපන්...”
සෙසු පිරිස නිහාල් බාස් අවදි කර ගන්නට උත්සාහ කළද පලක් වූයේ නැත. ඔහු පුටුව මතම විය. ගෙල එක පැත්තකට කඩා වැටී තිබිණි. "මූට ඩෝප්ද
කාටත් ඇති වූයේ එවන් සැකයකි. එතැන හිටි පෙදරේරුවා මේ බව ඉදිකරන තාප්පයේ හිමිකරුට මෙන්ම බබාගේ මිතුරා වූ ටින්කර්න් බාසුන්නැහේටද දැනුම් දුන්නේය. මේ වන විට බබාගේ වෙරි හිඳී තිබුණේය. ඒ නිහාල් බාස්ගේ තත්ත්වය අවුල් බව තේරුම් ගිය නිසාය. ඔහු හීන් සැරේ එතැනින් මාරු වූයේ ඔය අතරය. බබා කාටත් හොරා එතැනින් පලායන බව දුටු එක් පෙදරේරුවකු ඔහු පසුපස පැන්නුවද බබාව අල්ලාගත නොහැකි විය. ටින්කර් බාස්ද ඒ සමඟ එතැනට ආවේය. ඒ ත්රීවීලරයකින්ය. “මොකද වුණේ...”
“බබා බෝතලයක් අරන් ආවා. නිහාල් අයියයි බබායි බිව්වා. අපිත් පස්සේ සෙට් වුණා. දෙන්නා ආමි එකේ පරණ කතාවක් ඇදගෙන ගහගත්තා.” සිදුවූ සියල්ල පෙදරේරුවන් ටින්කර්
බාස්ට කීවේය.
“කෝ දැන් බබා..."
ටින්කර් බාස් ඔවුන්ගෙන් විමසුවේය. ඒ බබා ඔහුගේ අඋදවුකරු නිසාය.
“ඔන්න ඌ පැනල ගියා. මම දිව්වා ඌව අල්ලන්න. ඒත් ඌ පැන්නා. ඒ සමඟම යළි ත්‍රීවීලරයට නැඟගත් ටින්කර් බාස් අඋදවුකරු බබා සොයා යන්නට විය. ඒ වන විට සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වී සිටියේය. ඒ නිවෙසේ හිමිකරුවන් විසින් දුන් දුරකථන ඇමැතුමක් නිසාය. අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් සිද්ධිය වූ ස්ථානයට පැමිණෙන විටත් නිහාල් බාස් පුටුව මතම රැඳී සිටියේය. කිසිවකු ඔහු රෝහල් කරා රැගෙන යෑමටද උත්සුක වී තිබුණේ නැත.
නිලධාරීර්න් පුටුව මත හිඳුවා සිටි නිහාල් පරීක්ෂා කළේය. ඔහු ඒ වන විටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව නිලධාරීන්ට වැටහිණි.
"කෝ ඔය බබා කියන එකා...”
නිලධාරින් සෙසු අයගෙන් එසේ විමසද්දී ත්‍රීවීලරයක් එතැනට පැමිණියේය. ටින්කර් බාස් සමඟ සැකකාර බබාද එහි විය. පසුව අනාවරණය වූයේ බබා පලා යද්දී ටින්කර් බාස්ට ඔහු හසුවී ඇති බවය.
නිලධාරීන් කිසිදු කරදරයකින් තොරව සැකකාර බබා අත්අඩංගුවට ගත්තේය. ඝාතනය සිදුවී පැය භාගයක් යන්නටද මත්තෙන් අපරාධකරු කොටුවූයේ එලෙසය.අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාවේ පදිංචි අයකු වූ අතර ඔහු ලියනගේමුල්ල ප්‍රදේශයේ බෝඩිමක නතර වී අත්ලදවුකරුවකු ලෙස රැකියාව කළේය. පොලිසිය පවසන්නේ මරණකරුගේ මුහුණ ප්‍රදේශයට පහර දී ගෙල මිරිකා ඇති බවය.
සිද්ධියෙන් එලෙස මරණයට පත්වූයේ 47 හැවිරිදි දෙදරු පියෙක් වන ගුරුසිංහ හේවගේ නිහාල් චන්ද්‍රසිරි නමැති පෙදරේරුවෙකි. ඔහු වයික්කාල කොච්චිකඩේ පදිංචිකරුවෙකි. උඳුවප් පොහොය දින සිදුවූ තවත් ඝාතනයක් පොලිස් පොතට එක්වූයේ මෙලෙසිනි. මත්පැන් සාදයක් අවසානයේ ඝාතනයකින් අවසන් වූ අතර ඝාතනය සිදුකළ සැකකරු පලා යෑමට මත්තෙන් කොටුකර ගැනීම ගැන සෙසු පෙදරේරුවන් පොලිසියේ පැසසුමටද ලක්විණි.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
0 Comments