shermila-fizer

 අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පොදු එකඟතාවකට එළැඹීමේ ප්‍රවණතාවක් නොපෙනුණු බැව්න් බහුතර එකගතාව අනුව ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිසමට යැවු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් පවසන්නීය. එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.


2024 නොවැම්බර් 14 වැනිදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා දීම සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ගෑස් සිලින්ඩරය ලාංඡනයෙන් තරග කිරීමට එකගත්වය පළ කරමින් පක්ෂ කිහිපයක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.

එකී පක්ෂ අතරින් එහි නායකයන් සහ ලේකම්වරු වන පොදුජන එක්සත් නිදහස් පෙරමුණ වෙනුවෙන් (ලේකම් වෛද්‍ය රමේෂ් පතිරණ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් (සභාපති - නිමල් සිරිපාල ද සිල්වා මහතා) පොදුජන පෙරමුණ වෙනුවෙන් (ලේකම් ලසන්ත අලගියවන්න මහතා) සහ නව සන්ධානය වෙනුවෙන් (නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා) යන මහත්වරුන් අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇත. ඒ අනුව එම පක්ෂ විසින් ඔවුනට හිමි ජාතික ලැයිස්තු ධුරය වෙනුවෙන් නියෝජිතයෙකු නම් කළ යුතුව ඇත.


2024 නොවැම්බර් 18 වැනිදා සිට මේ දක්වා සති කීපය තුළ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකාර පක්ෂවල ඉහත නම් සඳහන් නායක, ලේකම්වරුන් ඇතුළු ජාතික ලැයිස්තුවේ අපේක්ෂකවරුන්ගෙන් මෙම මන්ත්‍රී ධුරය සඳහා නිර්දේශ ඉදිරිපත් කරමින් ලිපි සහ පණිවුඩ රාශියක් මා වෙත ලැබී ඇත. මෙම පුරප්පාඩුව පිරවීම සඳහා පාර්ශ්වකාර පක්ෂ විසින් නිර්දේශ, අනුමත කර එවා ඇති නම් සහ එකී ලිපිවලට අත්සන් කර ඇති අය සඳහත් ලේඛනයක් මීට අමුණා ඇත.


එමෙන්ම ඉකුත් 20 වැනිදා මට ලැබුණ දුරකථන පණිවුඩය තුළින් දන්වා එවා තිබුණේ ඔබතුමාගේ විදේශ සංචාරය නිමවා පැමිණ, දෙසැම්බර් මස මුල් සතිය තුළ පක්ෂ නායක රැස්වීමක් කැඳවත තුරු දෙවැනි නාම යෝජනාව රඳවා ගන්න ලෙසය. පසුගිය 6 වැනිදා සිකුරාදා එම රැස්වීම කැඳවා තිබූ නමුදු එහිදී ද තීරණයක් පිළිබඳව දැනුම් දීමක් ලැබී නොමැත.


මේ වන විට ලැබී ඇති නිර්දේශ අනුව අදාළ පුරප්පාඩුව පිරවීම සඳහා කටයුතු කරන ලෙස දෛනිකව මා වෙත බලපෑම් කෙරෙමින් පවතී. ලැබී ඇති නිර්දේශ අනුව පොදුජන එක්සත් නිදහස් සන්ධානය වෙනුවෙන් එහි ලේකම් ලෙස අවබෝධතා ගිවිසුම අත්සන් කළ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් 18 දෙනෙකුගේ අත්සනින් කංචන විජේසේකර මහතාගේ නම නිර්දේශ කර ඇති අතර ඊට ඔබතුමාගේ එකගත්වය සටහන් කර ඇත. මෙය ලිපි ශීර්ෂයක් නොමැති ලිපියකි.




එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සහ නව සන්ධානය යන පක්ෂ වෙන් වෙන්ව මෙන්ම පොදුවේ ජනාධිපති නීතිඥ මුස්තාපා මහතාගේ නම අනුමත කර එවා ඇත.

මහජන එක්සත් පෙරමුණ ලේකම් තිස්ස ජයවර්ධන මහතා විසින් නොවැම්බර් 1771.1 සහ නොවැම්බර් 26/ 1.1 යන දින සහිත ලිපි මගින් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නම ඉදිරිපත් කර ඇත. (මහජන එක්සත් පෙරමුණ අවබෝධතා ගිවිසුමට වෙනම අත්සන් කළ පක්ෂයක් නොවන අතර දිනේෂ් ගුණවර්ධන මහතා පොදුජන එක්සත් නිදහස් සන්ධානයේ නායක ලෙස සඳහන් කොට ඇත.)


නැවතත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ලිපි ශීර්ෂයකින් නිලධාරි මණ්ඩලයේ සාමාජිකයන් 7 දෙනෙකුගේ අත්සන් සහිතව මා වෙත යොමු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතාගේ නමත් විකල්ප යෝජනාවක් ලෙස ටිරාන් අලස් මහතාගේ නමත් නිර්දේශ කර ඇත.


මෙම කාරණය පිළිබඳව ඒකමතික තීරණයකට පැමිණ එක නමක් නිර්දේශ කිරීම අතිශය අසීරු කාරණයක් බව පෙනී යයි. සන්ධාන පක්ෂ නායකයන් මෙන්ම, මාධ්‍ය මගින් මාහට විශාල වශයෙන් පීඩනයක් වී ඇති බැවින් මේ තීරණය තවදුරටත් කල් දැමිය යුතු නැතැයි සිතමි. එබැවින් අප පක්ෂයේ දේශපාලන කමිටුව කැඳවා සාකච්ඡා කළ අතර එහි ඒකමතික තීරණය වූයේ අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ පොදු එකඟතාවකට එළඹීමේ ප්‍රවණතාවක් නොපෙනෙන බැවින් බහුතර එකගතාව පිළිගත යුතු බවයි. ඒ අනුව ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව සඳහා අවබෝධතා ගිවිසුමේ පාර්ශ්වකරුවන් බහුතරයකගේ තීරණය ලෙස මට දැනුම දී ඇත්තේ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යැවිය යුතු බව ය.
( අංජුල මහික වීරරත්න)