පොලිසියෙන් රාත්‍රියේ කළ වාහන සෝදිසියක් නිසා මෝටර් රථයක ඩිකියේ රිංගා ගමන්ටලු අතර සිටි දැවැන්ත නාගයකු දෂ්ට කිරීමට තිබූ අනතුරකින් තරුණයන් සිවු දෙනෙකු බේරාගැනීමට රත්නපුර පොලිසියේ නිලධාරීහු සමත්වූහ.රාත්‍රී කාලයේ හදිසි රථවාහන සෝදිසි කිරීම් පොලිස්පතිවයාගේ සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ උපදෙස් මත මේ දිනවල රටේ විවිධ ප්‍රදේශවල සිදු කෙරෙයි.
පසුගිය 29දා අලුයම එකට පමණ වනවිට රත්නපුර කොළඹ ප්‍රධාන පාරේ වෙරලුප හන්දියේදී රත්නපුර පොලිසියේ ජංගම පොලිස් මුර කණ්ඩායමක් වාහන සෝදියක නිරතවිය. පැයක කාලයක් ඇතුළත කොළඹ දෙසට ධාවනය වු වාහන පහක් සෝදිසියට ලක්කළේය.පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා වූයේ උපපොලිස් පරීක්ෂක වඩුගේ ය. වාහන පහක් පරීක්ෂා කළ පසු, රාත්‍රියේ නිරීක්ෂණ සටහන් කළයුතු ස්ථාන කරා යමුයැයි සෙසු කණ්ඩායම යෝජනා කළේය.ටික වෙලාවක් සිටින විට කොළඹ දෙසට එමින් තිබූ කුඩා ප්‍රමාණයේ මෝටර් රථයකි. විදුලි පන්දමක සංඥාවකින් වාහනය නැවැත්වීය.
සැරයන් (47480) ජනක සහ කොස්තාපල් (106212) සේනානායක වාහනයේ රියදුරු වෙත ගොස් රිය බලපත් සහ ආදායම් සහතික,
රක්ෂණ සහතික පරීක්ෂා කළහ. උපපොලිස් පරීක්ෂක වඩුගේ සහ පොලිස් කොස්තාපල් රියදුරු (36212) එගොඩවත්ත වාහනය ඇතුළත බලනවිට දුම්වැටි දල්වාගෙන කොණ්ඩ වවාගෙන තරුණයින් සිව්දෙනෙකු සිටින බව නිරීක්ෂණය කළේය. කතරගම වන්දනාවේ ගොස් ආපසු නිවෙස් බලා යන ගමන් බවත්, තණමල්විල, උඩවලව හරහා ආපසු එන ගමන් බවත් පිරිස කීහ.වාහනය පරීක්ෂා කිරිමට වාහනයෙන් බසින ලෙස පොලිසියෙන් උපදෙස් දුන්නේ ය. දුරගමනක වෙහෙස නිසා තරුණයන් වාහනයෙන් බැස්සේ හිතෙන් පොලිසියට දොස් තබමින් ය.
වාහනය ඇතුළත කිසිදු සැකකටයුතු දෙයක් නොවීය. තරුණයන් තිදෙනෙක් මෝටර් රථයට ගොඩවූහ. රිය පදවාගෙන ආ තරුණයාට පොලිසිය උපදෙස් දුන්නේ වාහනයේ ඩිකිය විවෘත කරන ලෙසය. ඩිකියේ ඇත්තේ ගමන්මලු සහ ආහාර ගැනීමට ගෙනා පිගන් කෝප්ප බව නුරුස්සනා ස්වරූපයකින් පවසමින් ඩිකිය විවෘත කළේය. පොලිසිය ඩිකිය ඇතුළට විදුලි පන්දම අල්ලා නිරීක්ෂණ කරණවිට ගමන් මලු අතරේ වැඩුණු සර්පයෙකු නිරීක්ෂණය විය.
පොලිසියට ගැටලුවකි. ඩිකියේ සර්පයෙකු දාගෙන යන්නේ ඇයි ද යන්නයි. පොළගෙකුයැයි මුලින් සිතුවද,
විදුලි පන්දම් එළියෙන් ඒ නාගයෙකු බව පැහැදිලි විය. මෝටර් රථයේ වාඩි වී සිටි තරුණයෝ තිදෙනා සර්පයෙකු සිටින බවට වූ දෙබස් අසා මෝටර් රථයෙන් බැස්සා නොව ඉබේ එළියට පැන ගත්හ. “සර් අපි තණමල්විලයි උඩවලවයි අතර ඉරිගු කඩයක් ළඟ නවත්වලා කාර් එකේ පසුපස කැලේ පැත්තට හරවා නවත්වලා එතන තිබුණ ලැලි බංකු උඩ වාඩිවෙලා, ගිමන් අරින ගමන් ඉරිඟු කැවා. කාර් එකේ ඩිකිය ඇරලා තිබුණේ. ඊට පස්සේ අපි ඩිකිය පරීක්ෂා නොකර වහල පිටත්වුණා. කොහෙවත් නැවැත්තුවෙ නෑ. සර්ලා තමා නැවැත්තුවේ" කියද්දී බෑග් අතර සිටි නාගයා දුටු තරුණයෙක් ක්ලාන්ත විය.
දිග පොල්ලක් සොයාගෙන ඩිකියෙ තිබූ බෑග් ඒ ලී දණ්ඩේ ආධාරයෙන් ඉවත් කළේය. සර්පයා තවමත් ඇතුළේය. ඌ අඩි හතරක් පමණ වූ දැවැන්ත නාගයෙකි. ටික වෙලාවකින් බොහොම අපහසුවෙන් නාගයා ඩිකියෙන් ඉවත් කළේය. තරුණයෝ නාගයා මරන්න සූදානම් වූහ. පොලිස් නිලධාරීහු නාගයා මරන්නට ඉඩ නොදුන්නෝය. නාගයා එළියට ගත් පසු නැවතත් වාහනය ඇතුළට රිංගන්න දැගලුවේය. පසුව ඌ කැලෙට යැව්වේය. තරමක් අධිමානයෙන් මුලදී සිටි තරුණයන් පොලිස් නිලධාරීන්ට වැඳ ස්තුතිය පළ කළේ තමන්ගේ දිවි බේරාගත් නිසාය.
“සර්ලා නැවැත්තුවේ නැත්නම් අපි ඉවරයි. අපි කොළඹ සහ අවිස්සාවේලේ අය. ඉස්සෙල්ලාම අවිස්සාවේල්ලෙන් බහින දෙන්නා බෑග් ගන්න කළුවරේම ඩිකියට අත දැම්මානම් නාගයා දෂ්ට කරන්නත් ඉඩ තිබුණා” කියමින් පොලිසියට ස්තුති කරමින් මහ රෑම යන්නට ගියේය.
(අජිත්ලාල් ශාන්තඋදය)
0 Comments