speker-resigned

 කථානායක අශෝක රන්වල එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඒ බව සඳහන් කරමින් ඔහු මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇති අතර ඔහු එහි සඳහන් කරන්නේ තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් තමන් විසින් සිදු කර නැති බවත් තම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ තමා සතුව නොමැති බැවින් ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බවත් එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී ඇති බවත් ඔහු පවසයි.

තමන් හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීද විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ඊට අදාල අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරන බවත් ඔහු වැඩිදුරටත් එම නිවේදනයෙන් සඳහන් කරයි.



කෙසේ වෙතත් මතුව ඇති තත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා තමා දැනට දරන කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙම නිවේදනයෙන් වැඩිදුරටත් සන්වා සිටී.