sri-lanka-india-friendship-society


ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ කථානායක ආචාර්ය අශෝක රන්වල අතර පසුගියදා (28) පාර්ලිමේන්තුවේදී හමුවක් පැවැත්විණි.
මෙම හමුවට පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර ද සහභාගී වූවාය.



නව කථානායකවරයාට සුභ පැතූ ඉන්දීය මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝ කාලීනව පවතින සබඳතා සිහිපත් කළේය.

දෙරට පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය මහ කොමසාරිස්වරයා පැවසීය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ කථානායක ආචාර්ය අශෝක රන්වල, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා දිගටම ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ දසවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා - ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පැවසීය.

දෙපාර්ශවය අතර පැවති මිත්‍රශීලී සාකච්ඡාවේදී ආර්ථික හා වෙළඳ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම වැනි දෙරටටම වැදගත් කරුණු කෙරෙහි අවධානය යොමු කෙරිණි.