t56-soldier-found

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට කොළඹ බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයකට ආරක්ෂාව සපයමින් සිටියදී වරකාපොළදී ටී-56 ගිනි අවිය හා උණ්ඩ 30 සමඟ අතුරුදන්ව සිටි නාවික හමුදා සෙබළා ඊයේ (25දා) නාවික හමුදා විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නාරම්මල පොලිසියට භාරදී තිබේ.






මෙලෙස නාරම්මල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළ එම්.ආර්.බී. කුමාර (63480) නමැති 39 හැවිරිදි සෙබළෙකි. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට පෙරේදා (24දා) නාවික හමුදාවට අයත් ලොරි රථයකින් භාණ්ඩ තොගයක් කොළඹ බලා ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ රියැදුරුවරයා ලෙස නාවික සෙබළ රියැදුරු ටී.ඒ.ජයවර්ධන (62708) නිලධාරියා සේවය කර තිබේ. මෙම ලොරි රථයේ ආරක්ෂාවට නාවික හමුදා සෙබළ එම්.ආර්.බී. කුමාර (63480) නිලධාරියා ටී-56 ගිනි අවිය හා ඊට යොදන උණ්ඩ 30ක් සමඟ කොළඹ බලා පැමිණෙමින් සිට තිබේ.


කුරුණෑගල, අලව්ව නගරය පසු කර වරකාපොළ පොලිස් වසමට ඇතුළුවී කොළඹ දෙසට ලොරි රථය ධාවනය කරමින් සිටිය වාරියගොඩ ප්‍රදේශයේදී සවස 6.45ට පමණ ආරක්ෂාවට සිට ඇති සෙබළා තම සහෝදරයාගේ නිවසින් කෑම එකක් ගැනීමට අවශ්‍ය බව රියැදුරුවරයාට දන්වා තිබේ. පසුව රියැදුරුවරයා ලොරි රථය වාරියගොඩ ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නතර කර තිබේ.

ආරක්ෂාවට සිටි නාවික සෙබළා පසුව ටී-56 ගිනි අවිය හා උණ්ඩ 30 රැගෙන ලොරි රථයෙන් බැස ගොස් ඇති අතර ආපසු ආරක්ෂක සෙබළා නොපැමිණීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් ආසන්නයේ පිහිටි අලව්ව පොලිසියට ගොස් තිබේ. පසුව අලව්ව පොලිසිය කියා ඇත්තේ සිදුවීම සිදුව ඇති ස්ථානය වරකාපොළ පොලිස් ස්ථානයට අයත් බවත්ය. පසුව නාවික සෙබළ රියැදුරුවරයා වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් තිබේ. නාවික සෙබළ රියැදුරුවරයා වරකාපොළ පොලිසියට ගොස් තමන් සමඟ කොළඹ බලා ධාවනය කරමින් සිටි ලොරි රථයේ ආරක්ෂාවට පැමිණි නාවික සෙබළා අතුරුදන්ව ඇතැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
<

br />
පසුව නාවික හමුදාව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව සැකකාර නාවික සෙබළා ඔහු පදිංචිව සිටින නාරම්මල පොලිස් වසමේ දීකිරිකෑව පනාපිටිය නිවසේ සිටියදී ඊයේ (25දා) අලුයම නාවික හමුදා විනය ආරක්ෂක නිලධාරි කණ්ඩායමක් විසින් අල්ලාගෙන ටී-56 ගිනි අවිය සහ උණ්ඩ 30 සමඟ නාරම්මල පොලිසියට භාරදී තිබේ.අත්අඩංගුවට ගත් සෙබළා ගිනි අවිය හා උණ්ඩ 30 රැගෙන ගියේ මන්දැයි මේ වන විට නාවික හමුදාව හා පොලිසිය විමර්ශනයක් සිදු කරයි.


චමින්ද ජයලත්