රඳවා ගැනීමේ බද්ද පොලී අනුපාතය මත සියයට 5 සිට සියයට10 දක්වා ඉහළ නැංවීමෙන් බැංකු ගිණුම් හිමියන් බොහෝ දෙනකු බලවත් අසාධාරණයකට පත්වුණු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.සෑම බැංකු ගිණුම් හිමියකුගෙන්ම ඔවුන්ගේ පොලී ආදායම මත සියයට පහක රඳවා ගැනීමේ බද්දක් මෙතෙක් අය කළ නමුත් ඉදිරියට එය සියයට දහය දක්වා ඉහළ නැංවීමට ජනාධිපතිවරයා කළ යෝජනාව හේතුවෙන් පොලී ආදායම මත ජීවත්වන්නන් බලවත් අසීරුතාවට පත්වනු ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
ස්ථාවර හෝ ඉතුරුම් හෝ ගිණුම් හිමියන්ට ලැබෙන පොලී ආදායම මත ඔවුන්ගෙන් සියයට දහයක් මහා භාණ්ඩාගාරය වෙත යැවීමට බැංකු පියවර ගන්නා අතර පසුව ගිණුම් හිමියන්ට අයිතිවන්නේ පොලී ආදායමෙන් සියයට අනූවක මුදලක් වන බව ද මීට පෙර සියයට අනූපහක පොලී මුදලක් ඔවුන්ට හිමි වුණු බව ද ආර්ථික විශ්ලේෂකයෝ කියති.
ආදායම් බදු ගෙවීමට තරම් ආදායම් මට්ටමක් නොමැති බහුතරයක් වන සාමාන්‍ය ජනතාවගෙන් පවා මෙම සියයට දහයේ රඳවා ගැනීමේ බද්ද බැංකු මගින් අඩුකර ගැනීම නිසා ඔවුන්ට සිදුවන්නේ දැඩි අසාධාරණයක් බව දඔවුහු සඳහන් කරති.ආදායම් බදු ගෙවන්නන්ට සිය ආදායම් බදු ලිපිගොනුව අනුව
ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණයෙන් රඳවා ගැනීමේ දී අඩු කළ බදු ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිවන නමුත් එලෙස ආදායම් බදු නොගෙවන්නන්ට ඒ සඳහා පිළිගත් නිසි ක්‍රමවේදයක් නොමැති බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
තමන් ආදායම් බදු ගෙවීමට තරම් ආදායම් මට්ටමක් ලබන්නකු නොවන බවට බැංකුවට සහතික වී ලබාගන්නා ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ආදායම් බදු නොගෙවන්නන්ට රඳවා ගැනීමේ දී අය කළ බද්ද නැවත අය කර ගැනීමට හැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බදු ගෙවීම පිළිබඳ එවැනි සාක්ෂරතාවයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් තමන්ගෙන් රඳවා ගත් බදු මුදල් ප්‍රමාණය නැවත අය කර ගැනීමේ සංකීර්ණ ක්‍රියාවලියකට යොමු නොවනු ඇතැයි ද ඉන් මහා භාණ්ඩාගාරයට වාසියක් සිදුවනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
ආදායම් බදු ගෙවන්නන් පවා සිය රඳවා ගැනීමේ බදු මුදල නැවත අඩු කර ගැනීමට යෑමේදී කාලයක් ගත්වීම ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම හා වෙනත් සංකීර්ණ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් අපහසුතාවට සහ පාඩු ලබන තත්වයකට පත්වීමට ඉඩ ඇති බවද ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
( රංජන් කස්තුරි)
0 Comments