අපරාධකරුවකු පොලිසියට කොටුනොවී සැඟ වෙන්නට කොතෙක් උත්සාහ කළද ඔහු කවදා කෙලෙසක කොතැනකදී හෝ පොලිසියට කොටුවනු ඇත. එවන් සිදුවීම් පොලිස් පොත්වල බොහෝ විට සටහන් වී තිබේ. අපරාධකරුවන් මෙලෙස කොටුවන්නේ දක්ෂ පොලිස් නිලධාරීන්ගෙන් බේරීමක් නැති නිසාය.එවන් දක්ෂ විමර්ශනයක නිරත වීමට පසුගියදා කුච්චවේලි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ටද හැකි වූහ. ඒ දැරියක දූෂණයකොට මරා දමා මාස හයකට වැඩි කාලයක් සැඟව සිටි අපරාධකරුවකු දැඩි උත්සාහයකින් පසු කොටුකර ගැනීමට සමත්වූ නිසාය.


තලෙයිමන්නාරම, ඌර්මානෙයි ගම්මානයේ 10 හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක්කර මෙසේ ඝාතනය කර තිබුණේ ඉකුත් පසුගිය පෙබරවාරි මස 15 වැනිදාය.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ තලෙයිමන්නාරම පොලිසිය විසිනි. වවුනියාව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාලන් පෙරේරාගේ උපදෙස් මත තලෙයිමන්නාරම පොලිස් ස්ථානාධිපති ජයශාන්ත ඇතුළු කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.




පොලිසිය විසින් සැකකරු මන්නාරම අධිකරණය වෙත ඉදිර්පත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ රහුමාන් නමැති පුද්ගලයෙකි. ඔහු කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරිකයකු ලෙසද කටයුතු කළ තැනැත්තෙකි. පොලිසිය පවසන්නේ එලෙස ක්‍රියාකාර්ව සිටි සමයේදී මිත්‍ර වූ කාන්තාවක් සමඟ ඔහු පසුව විවාහ වී කුච්චවේලි පොලිස් වසමේ පදිංචිව සිට ඇති බවය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළ රහුමාන් අසනීප තත්ත්වයෙන් රෝහල් ගතකර සිටි මොහොතක බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී ඔහු පැනගොස් තිබිණි. සිද්ධිය තලෙයිමන්නාරම පොලිසිය වෙත දැනුම් දෙනු ලැබුවද ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නොවිණි.


සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ රහුමාන්ගේ පැනයෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් පසු බන්ධනාගාර නිලධාරීන් පස්දෙනකුගේද සේවය අත්හිටවූ බවකි. කෙසේ වෙතත් රහුමාන් සොයා ගැනීමට තලෙයිමන්නාරම පොලිසිය දැඩි උත්සාහයක් ගත්තද ඔහු සොයා ගැනීමට ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබිණි.




මේ අතර මොහුගේ පලා යෑම සම්බන්ධයෙන් තොරතුරු දිවයින පුරා ස්ථාපිත පොලිස් ස්ථාන වෙතද දෛනික නිවේදන ඔස්සේ දැනුම් දෙන ලදී. කුච්චවේලි පොලිස් ස්ථානාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කෙරිණි. ඒ රහුමාන් කුච්චවේලි පොලිස් වසමේ පල්ලවකුලම් ගම්මානයේ පදිංචිකරුවකු වූ නිසාවෙනි. කලක් ද්‍රවිඩ ජාතිකයකු ලෙස

සිටි ඔහු පසුව සිය නම මුස්ලිම් ජාතිකයකු ලෙස වෙනස් කරගෙන තිබිණි.


පල්ලවකුලම් ගම්මානයේ සිය බිරිය සහ දරුවන් සමඟ ඔහු පදිංචිව සිටියේ සුනාමියෙන් ලැබුණු නිවෙසක වීමද විශේෂත්වයකි. එලෙස කාලය ගත කළ රහුමාන් පසුව තලෙයිමන්නාරම ප්‍රදේශය බලා ගොස් තිබුණේ වත්තක් බලාකියා ගැනීමේ රැකියාවක් සඳහාය. එලෙස පොල්වත්තේ මුරකරුවකු ලෙස සේවය කරද්දී ඒ අසලින් ගිය දස හැවිරිදි දැරියක් මොහු විසින් අපයෝජනයට ලක්කොට ඝාතනය කර තිබිණි.


මේ සියල්ල අනාවරණය කරගත් කුච්චවේලි පොලිස් ස්ථානාධිපති විජේවර්ධන සිය බුද්ධි නිලධාර්න් යොදවමින් වසමේ පදිංචිකරුවකු වූ රහුමාන් ගැන තොරතුරු සොයන්නට විය. ඒ ඔහුටද නොදැනෙන ලෙසිනි. කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයා මෙහිදී අනාවරණය කරගත්තේ ඔහු බිරිය දැකබලා ගැනීමට හෝ කුච්චවේලි පල්ලවකුලම් සුනාමි නිවෙසට නොඑන බවකි. එලෙස තොරතුරු සොයමින් ස්ථානාධිපතිවරයා කල්ගත කළද රහුමාන් ගැන කිසිදු තොරතුරක් ඔහු වෙතද නොලැබිණි.


දින, සති, මාස ගණන් ගෙවී ගියද රහුමාන් සොයා ගැනීමට පොලිසියට නොහැකි වෙද්දී කුච්චවේලි පොලිසියේ සැරයන් මොහම්මදුට පුද්ගලයකු විසින් තොරතුරක් ලබා දෙන ලදී. ඒ රහුමාන් සොයාගත නොහැකිව මාස තුනක් පමණ කල්ගතව සිටියදීය.




"මහත්තයා ඔය රහුමාන් පල්ලවකුලම් යායේ හැංගිලා ඉන්නවා...”

තොරතුරෙන් කියැවිණි. සැරයන් මොහම්මදු වහා මේ බව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දුනි. එතැන් පටන් රහුමාන් කොටු කර ගැනීමේ දැල එළිණි.


“අපි ඔය පල්ලවකුලම් යාය පැත්තට ගියා. ඒක ලොකු කුඹුරු යායක්. ඒ පැත්තට කවුරු හරි යනව නම් කුඹුරු යායේ ඉන්න ඕනම කෙනකුට එන අය පේනවා. අපි කිහිප වතාවක්ම ඒ පැත්තට යන්න උත්සාහ කළත් අපි දැනගත්තා අපි ඒ පැත්තට එන බව දැක්කොත් මිනිහා මාරු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම එහෙම වුණා නම් අතටම ආව මිනිහා අල්ලගන්න බැරි වෙන බවත් අපිට වැටහුණා. “දවල් කාලයේ ගියොත් ඒ වගේ තත්ත්වයක් උදාවෙන බව දන්න නිසා අපි දවාලට මිනිහා හොයන්න යන එක නතර කරලා ඔත්තුව දුන්න පුද්ගලයා සම්බන්ධ කරගෙන මිනිහා යන එන තැන් දැනගත්තා.”


 "එක දවසක් රෑට අපි කණ්ඩායමක් ඒ පැත්තට යන්න හැදුවත් අලින්ගේ ප්‍රශ්න නිසා ඒකත් හරි ගියේ නැහැ. පස්සේ අපි පොලිස් ඇඳුම් ගලවලා මුස්ලිම් මිනිස්සු වගේ සරම් කමිසවලින් සැරැසිලා ට්‍රැක්ටරයකින් ඒ පැත්තට ගියා. ඒත් අපි සේරම ගියේ නැහැ. අපේ කට්ටිය නියරවල බුදියගෙන සාජන් මොහොම්මදුයි තවත් මුස්ලිම් රාලහාමි කෙනකුව සැකකරු ඉන්න තැනට යැව්වා.

ඒත් එදා රහුමාන් හිටියේ නැහැ. අපේ නිලධාර්න් මුස්ලිම් මිනිස්සු වගේ හැසිරිලා වී ගන්න ආව අය වගේ කටයුතු කරලා බලද්දී මිනිහා රක්ෂිතයේ දඩයමේ ගිහින් තිබුණා. ඒ නිසා එදත් අපිට හැර්ලා එන්න වුණා."


සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී ව්මර්ශන නිලධාරියෙක් කීවේය.


කෙසේ වෙතත් කුච්චවේලි පොලිස් ස්ථානාධිපතිවරයා සිය උත්සාහය අතහැරියේ නැත. ඔහු සිය සැරයන්වරයාට උපදෙස් දුන්නේ රහුමාන් ගැන ඇහැ ගසාගෙන සිටින ලෙසය. “අපි කලබල කළොත් මිනිහා මෙතැනින් පැනලා කොහේ හරි යනවා. එතකොට මිනිහව අල්ලගන්න බැරි වෙනවා. ඒ නිසා මිනිහා ගැන අවධානයෙන් ඉන්න..."ස්ථානාධිපතිවරයා නිලධාර්න් දැනුවත් කරන්නට විය.මෙලෙස කාලය ගත වෙද්දී ස්ථානාධිපතිවරයාට තවත් තොරතුරක් ලැබිණි. ඒ රහුමාන්ගේ බිරියට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවය.


කුච්චවේලි පොලිස් වසමේ පුරාවිද්‍යා ස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එම ප්‍රදේශයේ කුඹුරක් සැකසීම සඳහා පුරාවිද්‍යා නටබුන් විනාශ කර ඇති බවය. නිලධාර්න් මේ සම්බන්ධයෙන් සැකකාරිය  අත්අඩංගුවට ගත්තේය.


ඇගෙන් රහුමාන් ගැනද ප්‍රශ්න කෙරුණද ඇය සැමියාට එරෙහිව වචනයකුදු කීවේ නැත. “ඒත් අපිට තොරතුරු ලැබුණා මේ ගෑනු කෙනා තමයි පල්ලවකුලම් යායේ හැංගිලා දඩයමේ යන මිනිහට අවශ්‍ය කෑම බීම, තුනපහ, හාල් වගේ දේවල් යවන්නේ කියලා. මිනිහා ඒවා උයාගෙන කාලා සතෙක් දඩයම් කරගෙන රක්ෂිතයට වෙලා ඉන්නේ කියලත්” විමර්ශන නිලධාරියා කීවේය.

ඒ කෙසේ වෙතත් සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිර්පත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත විය.


“එදා ඉඳන් මිනිහට ලැබෙන කෑම නැති වුණා. හාල්ටික, තුනපහ ටික ගෙනත් දෙන්න කෙනෙක් නැති වුණා. ගෑනි රිමාන්ඩ් වුණු නිසා මිනිහට කැලෙන් එළියට එන්න වුණා. කන ජාතියක් හොයාගන්න."


විමර්ශන නිලධාරියා සඳහන් කළේය. ඒ අනුව ස්ථානාධිපතිවරයා ඔත්තුකරු සම්බන්ධ කරමින් රහුමාන් ගැන අවදියෙන් සිටින ලෙස සැරයන් මොහම්මදුට උපදෙස් දුන්නේය.


"මෙහෙම මාස තුනක්ම ගත වුණා. ගෑනු කෙනාට ඇප ලැබුණේ නහැ. ඔන්න ඔය අතරේ තමයි අපිට තොරතුරක් ලැබුණේ මේ සැකකරු එයාගේ පුතා පදිංචි වෙලා ඉන්න පල්ලවකුලම් ගෙදරට එනවා යනවා කියලා. අපි ඒ තොරතුර ඔස්සේ ගියා. එතැනදී අපිට දැනගන්න ලැබුණා මිනිහා ඒ ගෙදරට ඇවිත් විනාඩි පහක්වත් ඉන්නේ නැහැ යනවා කියලා. ඒත් අපි එකපාරට මිනිහව අල්ල ගන්න ගියේ නැහැ. ටිකක් ඉඩ දුන්නා පුතාගේ ගෙදර යන්න එන්න.


මිනිහට තේරෙන්න ඇති පොලිසියෙන් මිනිහා හොයන්නේ නැති බව, ඉන් පස්සේ මිනිහා පුතාගේ ගෙදර ඇවිත් පැය භාගයක් පැයක් වගේ කාලය ගත කරලා යනවා කියලා අපිට ඔත්තුකරු කිව්වා. ඒ වගේම දවසක් හැර දවසක් තමයි මිනිහා පුතාගේ ගෙදරට එන්නෙත් කියලා දැනගත්තා. ඔන්න ඔහොම යන්න දීලා අපි මිනිහා ගැන අවධානයෙන් ඉන්න කොට එදා මිනිහා ආවේ නැහැ. ඒ නිසා අපි දැනගත්තා පහුවදා අනිවාර්යයෙන්ම මිනිහා ඒවි කියලා. එහෙම හිතලා ඔත්තුකරුත් දැනුවත් කරලා අපි ඊම් එකක් සූදානම් කරගෙන හිටියා. ඔත්තුව ලැබුණු ගමන්ම පනින්න. ඔහොම ඉන්නකොට තමයි ඔත්තුකරු කිව්වේ සර් අන්න දැන් බඩු ආවා කියලා. ඒ සැණින් අපි ටීම් එක ඒ ගෙය වටලලා මිනිහට පැනලා යන්න බැරි වෙන්න කට්ටිය වටේටම දාලා මිනිභව අල්ලගත්තා.


බලද්දී මිනිහා ගේ ඇතුළේ පොඩි කුහරයකුත් හදල තිබුණා.පොලිසියෙන් හදිසියේවත් ආවොත් හැංගෙන්න. පස්සේ මිනිහව ගෙනැල්ලා ප්‍රශ්න කරද්දී මිනිහා කිව්වා එදා පැනලා ගිහින් උයිලන්කුලමේ කැලෑවේ කාලයක් හැංගිලා ඉඳලා පස්සේ යාපනයට ගිහින් එහේ රස්සාවල් කරලා බැරිම තැන තමයි පවුලයි, දරුවොයි බලන්න කුච්චවේලිවලට ආවේ කියලා.මිනිහා ස්වරූපයත් වෙනස් කරගෙන තිබුණා. කොණ්ඩය කොටට කපලා රැවුලත් වවාගෙනයි හිටියේ. කාටත් හඳුනගන්න බැරි වෙන්න. හිරෙන් පැනලා මාස හය හමාරකට පස්සේ තමයි අපි මිනිහව අත්අඩංගුවට ගත්තේ."
(කීර්ති මෙන්ඩිස්)