කුලී ගමන් මුවාවෙන් ත්රීරෝද රථ රියැදුරන් මත්කර පනස්තුන් ලක්ෂයක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකා පලාගිය කොල්ල කල්ලියක සිවු දෙනකු රන් භාණ්ඩ තොගයක් ද සමඟ ඉකුත්දා (07) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
ඒ සමග දිවයිනේ පොලිස් වසම් පහළොවක මෙවන් කොල්ලකෑම් අනාවරණය කර ගත් අතර ඊට අදාළ රන් භාණ්ඩ හෙට්ටිවීදිය ප්රදේශයේ රන් භාණ්ඩ අලෙවි සලකට උකස් කර තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි. පිටකොටුවේ සිට මහරගමට කුලී ගමනක් පැමිණ රියැදුරුට මත්වීමට යමක් දී ඔහුගේ රුපියල් 3,40,000 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් හා රුපියල් 83,800 ක මුදලක්ද කොල්ලකන ලද බවට ලද පැමිණිල්ලක් අනුව මහරගම පොලිසිය විමර්ශන සිදුකරන අතරතුර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශයද විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එම ඒකකයේ පො.කො (76495) ක්රිෂාන්තට මෙසේ මුදල් කොල්ලකන කල්ලියක් පිටකොටුව මල්වත්ත පාර ප්රදේශයේ සැරිසරන බව වාර්තා වී ඇති අතර කණ්ඩායමක් එම ප්රදේශයට ගොස් ආවේශන රාජකාරියෙන් සැඟව සිටියදී කුලී ගමනක් යාමට යැයි පැමිණි සිවුදෙනකු පරීක්ෂා කළ බවත් එක් අයකු සන්තකයේ තිබී එන්නත් කිරීමට භාවිත කරන සිරින්ජරයක් හා හඳුනානොගත් මත්කුඩු තොගයක්ද සොයාගත් බවත් පොලිසිය කියයි.
සැකකරුවන් මහරගම, රත්නපුර, පැල්මඩුල්ල, රක්වාන, හල්දමුල්ල, නාකියාදෙණිය,
කටුගස්තොට, වත්තේගම, ග්රෑන්ඩ්පාස් ,අතුරුගිරිය, වැලිගම, නාවලපිටිය, නානු ඔය හා කදාන යන පොලිස් වසම්වල ත්රීරෝද රථවලින් කුලී ගමන් යන මුවාවෙන් ගොස් රියැදුරු මත්කර රුපියල් ලක්ෂ 55 ක පමණ රන් භාණ්ඩ, රුපියල් 35,000 ක් වටිනා ජංගම දුරකථනයක් හා රුපියල් 1,23,300 ක මුදලක්ද කොල්ලකා පලා ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.
කොල්ල කන ලද රුපියල් ලක්ෂ 41 ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් හෙට්ටිවීදියේ රන් භාණ්ඩ අලෙවිසලකට විකුණා තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර පිටකොටුව ප්රදේශයට ගොස් දුර ගමන් සේවා බස් රථයකට නැග සිතුණු ස්ථානයකින් බැස රන් භාණ්ඩ පැළඳ සිටින ත්රිරෝද රථ රියැදුරත් සමග මිත්රවී කුලී ගමන් යන බවත් එසේ යන අතරතුර බීම පැකට්ටුවකට මත්කුඩු එන්නත්කර රියැදුරුට බීමට දෙන බවත් රියැදුරන් මත්වු පසු රන් භාණ්ඩ, මුදල් හා දේපොළද කොල්ලකා අනාවරණය වූ බව බවත් ප
ොලිසිය පවසයි.
මත් දියරය එන්නත් වීමෙන් පසුව ඇතැම් රියැදුරන් දින දෙකතුන පවා සිහිමූර්ජා වී සිටින බව අනාවරණය ඇති බවත් මෙම මත්කුඩු හඳුනා ගැනීම සඳහා රස පරීක්ෂකවරයාට යොමු කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. ජාවාරමේ මහමොළකරුට මෙවන් සිද්ධි තුනකට රත්නපුර, රක්වාත සහ බණ්ඩාරවෙල අධිකරණවලින් වරෙන්තු නිකුත් කර ඇති බවද අනාවරණය වී ඇති අතර රක්වාන, මරදාන, බදුල්ල සහ වැරැල්ලගම ප්රදේශවල පදිංචි සැකකරුවන් සිවුදෙනා නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරිමට මහරගම පොලිසියට භාරදීමට නියමිත බවද පොලිසිය පවසයි.
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
0 Comments