two-sisters-death-hoghway

 එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව පිවිසුම් අතරදී ධාවනය වෙමින් තිබූ ලොරියක ගැටීමෙන් අක්කා නගෝ දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි පින්නදූව අනු පාලක මධ්‍යස්ථානය කියයි.




මියගොස් ඇත්තේ මාතර නූපේ පදිංචිව සිටි උබේසිංහ ආරච්චිගේ ඉසුමි රදීෂා (12) හා ඇයගේ එකම සොයුරිය වන සෙනුදි දම්සරා (10) නමැති දැරියන් දෙදෙනකි.අනතුරින් තුවාල ලැබූ මෙම දැරියන්ගේ මව සහ පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.මියගිය දැරියන්ගේ මව මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක බවත් පියා විදුලි බල මණ්ඩලයේ උසස් නිලයක් දරන්නකු බවත් හෙළිවී ඇත.


අනතුරින් මියගිය වැඩිමහල් දැරියගේ රෝගී තත්වයකට නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගෙන මාතර නිවෙස කරා පැමිණෙමින් සිටිය දී කොළඹ දෙස සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරියක පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. සිදුවූ අනතුරක් සගම සුළු මොහොතකදී දස හැවිරිදි දැරිය මියගොස් ඇති අතර බරපතළ තුවාල සිටි මවුපිය දෙදෙනා සහ වැඩිමහල් දියණිය මාර්ගයේ ගමන් ගත් වාහනවල රියැදුරන් විසින් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරනු

ලැබ සිටි බව පොලිසිය සඳහන් කරයි. රෝහලට ඇතුළත් කෙරුණ 12 හැවිරිදි දැරිය බරපතළ තත්වයෙන් හදිසි අනතුරු ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර වූ අවස්ථාවේ දී මියගිය බාල දියණිය මෝටර් රථයේ ඉදිරිපස වම් පස අසුනේ මවගේ ඇකයේ සිට ඇති අතර වැඩිමහල් දියණිය පිටුපස අසුනේ ගමන් කර ඇතැයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.


අනතූරින් මෝටර් රථයට දැඩි ලෙස හානිවී ඇති අතර ලොරියේ පිටුපස දකුණු පස ප්‍රදේශයට තරමක හානි වී ඇතැයි පොලිසිය කියයි.මෙම අනතුර මෝටර් රථයේ රියැදුරුට නින්ද යාම හේතුවෙන් සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)