පොලිස් මූලස්ථානයට දිනපතා වාර්තාවන මිනිස් ඝාතන අතරින් වැඩිහරියක්ම අඹු-සැමි ආරවුල් මත සිදුවන ඒවාය. සැමියා සහ බිරිය අතර ඇතිවන හැලහැප්පීම් මත සිදුවන මෙවන් ඝාතන නිසා අසරණ භාවයට පත්වන්නේ ඔවුනගේ දුවා දරුවන්ය. චන්ද්‍රසේන සහ සෝමලතා අඹු-සැමි යුවළකි. ඔවුහු උෟරුබොක්ක, බෙරලපනාතර, කැටවලගම ප්‍රදේශයේ පදිංචිව සිටියහ. දරුවන් සිවුදෙනකුගේ මවුපියන් වන මොවුන් අතර කලක සිටම ආරවුල්ද ඇතිව තිබිණි. කෙසේ වෙතත් උස් මහත්වූ දරුවන් දීගෙක යන තුරුත් ඔවුහු එකම නිවෙසේ කල් ගත කළහ.

දරුවන්ගෙන් වැඩිමහල් පුතා තණමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටින අතර දෙවැනි දියණිය තිස්සමහාරාමයෙන් විවාහව සිටියාය. තුන්වැන්නා ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් දීගයක් කරගෙන එම ප්‍රදේශයේම පදිංචිව සිටි අතර බාල දරුවා මීට මාස 6කට පමණ පෙර රැකියාවක් සඳහා ජපානයට ගොස් සිටියේය. දරුවන් තිදෙනකු විවාහ වී වෙනත් ප්‍රදේශවල පදිංචි වීමත් බාල දරුවා විදේශගතව සිටීමත් නිසා සෝමලතා කැටවලගම ගෙදර සිටියේ තනිවමය.



ඒ ඇය හා සැමියා අතර ඇතිවූ ආරවුල් නිසාය. බිරියගෙන් ඉවත් වූ චන්ද්‍රසේන දෙවැනි දියණිය පදිංචි තිස්සමහාරාමයට ගොස් එහි රැඳෙන්නට වූයේ ඉන් අනතුරුවය.

පොලිසිය පවසන්නේ දෙදෙනා අතර තිබූ විරසකය මත සැමියා වසර හත අටක්ම කැටවලගම ගෙදරට බිරිය බලන්නටවත් පැමිණ නැති බවය. ඒ චන්ද්‍රසිරි නිතරම සෝමලතා ගැන තරහෙන් සිටීම නිසාය.

ඉඳහිට හෝ කැටවලගම පැමිණියත් ඔහු බිරියගේ නිවෙසට පැමිණ සද්දයක් බද්දයක් දමා යළි තිස්සමහාරාමයට ගියේය. සෝමලතා සිය සැමියාගේ මෙවන් හැසිරීම් ගැන දරුවන්ට කියමින් හඬද්දී ඔවුන් කීවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙසය.

“ඒත් මේ ගෑනු කෙනා එහෙම පැමිණිල්ලක්වත් කරලා නැහැ. එයා කිව්වේ දරුවන්ට ලැජ්ජාවක් ඇතිවෙන නිසා එහෙම කළේ නැති බවයි“

විමර්ශන සිදුකළ නිලධාරියෙක් පැවැසීය.

කෙසේ වෙතත් තත්ත්වය උත්සන්න වූයේ ඉකුත් 13 වැනිදාය. වේලාව සවස 4.15ට පමණ වී තිබිණි. උෟරුබොක්ක හීගොඩ රෝහලෙන් උෟරුබොක්ක පොලිසියට පණිවුඩයක් ලැබිණි. ඒ සැමියා විසින් වස කවන ලද සෝමලතා නම් කාන්තාවක් හීගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවත් ඇය අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්ය.

සිද්ධිය උෟරුබොක්ක පොලිස් ස්ථානාධිපති පල්ලියගුරු ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති සැරයන් සනත් තවත් නිලධාරියකු සමඟ ක්‍ෂණිකව හීගොඩ රෝහලට ගියහ. ඒ අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බව කියන තැනැත්තියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. ඒ ඇයගේ ප්‍රකාශය විමර්ශනවලට මහඟු වාසිදායක වන හෙයින්ය.

කෙසේ වෙතත් රෝහලට ගිය සැරයන් සනත්ට රෝගාතුරව සිටින සෝමලතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකි විය. සැමියා සහ ඇය අතර ඇති ආරවුල ඇය පොලිස් නිලධාරීන් ඉදිරියේ කීවාය. වසර හත අටක් තිස්සේ ඔහු නිවෙසට නොපැමිණියද ඉඳහිට පැමිණි දවසක තමා බියට පත්කොට නැවත පිටව යන බවද ඇය පැවැසුවාය.



ප්‍රශ්න කිරීමේදී සෝමලතා වැඩිදුරටත් නිලධාරීන් ඉදිරියේ කියා සිටියේ සැමියා එදින අරක්කු බෝතලයක්ද සහිතව නිවෙසට පැමිණ කාමරයේ සිට මත්පැන් පානය කළ බවත් ඉන් අනතුරුව බලහත්කාරයෙන් තමාට කුමක්දෝ දෙයක් කැවූ බවත්ය. පසුව තමා කෑගසමින් නිවෙසින් පිටට දිව ගිය බවත් එහිදී අහල පහල අය තමාගෙන් සිද්ධිය විමසා තමාව රෝහල වෙත රැගෙන පැමිණි බවත්ය.

නිලධාරීන් ඇගේ ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ සැමියා වහා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීහු යුහුසුළු වූහ. ඒ අනුව ඔවුන් මුලින්ම ගියේ සෝමලතා පදිංචිව සිටි කැටවලගම නිවෙසටය. කෙසේ වෙතත් නිවෙස තුළ කළ සෝදිසියකදී චන්ද්‍රසේන සිටි බවක් පෙනෙන්නට නොවීය. වැඩිදුරටත් කරන ලද පරීක්‍ෂාවේදී නිලධාරීන්ට දැකගත හැකිවූයේ ඔහු වැසිකිළිය තුළ වැටී සිටින අයුරුය.

නිලධාරීන් ඔහු අවදි කරවන්නට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත. නිලධාරීන් 1990 ගිලන් රථ ඒකකයට තත්ත්වය දැනුම් දෙන්නේ ඉන් පසුවය. සුවසැරිය ගිලන් රථය කැටවලගම නිවෙසට පැමිණියේ ඉන් අනතුරුවය. වැටී සිටි චන්ද්‍රසේන පරීක්‍ෂා කිරීමෙන් පසු ඔවුන් නිලධාරීන්ට පවසා ඇත්තේ චන්ද්‍රසේන ඒ වන විටත් මියගොස් සිටින බවය.

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් සනත් සිද්ධිය වහා උෟරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දීමෙන් පසු ඔහුද පැමිණ සිද්ධිය නිරීක්‍ෂණය කළේය. අනතුරුව සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි දැනුවත් කිරීමෙන් පසු ඔහුද සිද්ධිය වූ නිවෙසට පැමිණ ඉදිරි විමර්ශන සඳහා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට සොකෝ සහ ඇඟිලි සලකුණු නිලධාරීන්ද කැඳවූ අතර සිද්ධිය මොරවක මහෙස්ත්‍රාත් අධිකරණය වෙතද දැනුම් දෙනු ලැබීය. ඒ අනුව වැඩබලන මහෙස්ත්‍රාත් අජිත් පී. අබේසේකර මහතා සිද්ධිය වූ  ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව චන්ද්‍රසේනගේ සිරුර පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කරන්නට විය.

මේ අතර මියගිය චන්ද්‍රසේන රැඳී සිටි නිවෙස සෝදිසි කළ නිලධාරීන්ට නිවෙසේ කාමරයක තිබී කිසියම් ඇට යැයි සැක කරන පාර්සලයක් හමුවිය. ඊට අමතර අරක්කු බාගයක බෝතලයක්ද නිලධාරීන් නඩු භාණ්ඩ ලෙස සිය භාරයට ගත්තේය. ඒ අනුව නිලධාරීන් සැක කළේ විස වර්ගයක් සෝමලතාට කවා චන්ද්‍රසේනද එම වර්ගය කා සිය දිවි හානි කරගන්නට ඇති බවය.

කෙසේ වෙතත් නිලධාරීන්ට ඒ බව තහවුරු වූයේ නැත. එබැවින් චන්ද්‍රසේන මරණයට පත්වූයේ කෙලෙසද යන්න දැන ගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදෙන පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව දෙස නිලධාරීන් බලා සිටියේය. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍යවරයා චන්ද්‍රසේනගේ  මරණය සම්බන්ධයෙන් දෙනු ලැබුවේ විවෘත තීන්දුවකි. එහෙත් චන්ද්‍රසේන මරණයට පත්වූයේ කෙසේද යන්න තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යැවීමටද වෛද්‍යවරයා කටයුතු කළේය. ඒ අනුව චන්ද්‍රසේනගේ මරණය කෙසේ සිදුවුණේ දැයි තවමත් නිශ්චය ලෙස තහවුරු වී නැත. පොලිසියේ සැකය වන්නේ ඔහු බිරියට වස කවා ඔහුද වහ කා සිය දිවි හානිකර ගන්නට ඇති බවය.

තවත් පවුල් ආරවුලක් නිමාවූයේ එලෙසය.

දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මාතර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා, සහකාර පොලිස් අධිකාරි ලාල් චන්ද්‍රසිරි යන නිලධාරීන්ගේ උපදෙස් මත උෟරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පල්ලියගුරු ගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සැරයන් සනත් (19604), අතාවුද (22249), එදිරිමාන්න (34715), දයානන්ද (17568), කොස්තාපල් අබේසිංහ (94624) සහ කාන්තා කොස්තාපල් මිහිරාණි (873) යන පිරිස මේ පිළිබඳ විමර්ශනයට එක්ව සිටියහ. පොලිසිය සිදුකළ විමර්ශන අනුව ලිපිය සකස් කෙරිණි.

කීර්ති මෙන්ඩිස්