නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුර පත්කිරීම් පිළිබඳව දැඩි විරෝධයක් මතුව තිබේ. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මෙම පත්කිරීම් සිදුවිය යුත්තේ පෙරමුණේ සියලු පක්ෂ නායකයින්ගේ එකඟතාවයෙන් බවයි.
පසුගියදා පක්ෂ ලේකම්වරිය විසින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස නම් කර මැතිවරණ කොමිසමට යොමුකර ඇත.
මෙම පත්කිරීම සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කළ අවස්ථාවේ සියලු හවුල්කාර පක්ෂ අතර පොදු එකඟතාවයන් ඇති කරගත් බවයි. කෙසේ වෙතත්, මෙතෙක් එම ගිවිසුම් හවුල්කාර පක්ෂවලට ලබා දී නොමැති බව එහි අවධාරණය කෙරේ.
"ජාතික ලැයිස්තු මන්ත්රී ධුර පිරවීමට පක්ෂ ලේකම්වරියට කිසිදු බලයක් නැත. මෙය පැහැදිලි දේශපාලන හොරකමක්," යනුවෙන් නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
මීට පෙර සිදුකළ රවී කරුණානායක මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර ඇති අතර, ෆයිසර් මුස්තාපා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන්ද හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට නියමිතය.
0 Comments