whatsapp-fraud

 වට්ස්ඇප් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී කරන මුල්‍ය වංචා ඇතුළු නොයෙකුත් වංචා පිළිබඳව පැමිණිලි වැඩි වී ඇති හෙයින් පරෙස්සම් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලා සිටී.සිය දුරකතනයට පැමිණෙන කිසිම කේතයක් තෙවැනි පාර්ශ්වයකට ලබා නොදෙන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.




හැකර්කරුවන් වස්ඇප් කණ්ඩායම්වලට සම්බන්ධ වී සූක්ෂ්මව එහි පරිශීලකයන් නිරීක්ෂණය කර, ඔවුන්ගේ වස්ඇප් ගිණුම් හැක් කරන බවත්, හැක් කරන වස්ඇප් ගිණුම්වල ඇති දුරකතන අංකවලට හදිසි අවස්ථාවක් බව පවසා මුදල් බැර කරන ලෙස හැකර්කරුවන් පණිවුඩ යවන බවත් දමුණුපොළ මහතා පැවැසුවේය.මේ පිළිබඳ කොතරම් දැනුවත් කළත්, තවමත් එම වංචාවලට හසුවන පිරිස් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.


ආගමික වැඩසටහන් සඳහා, ත්‍යාගයක් දිනා ගැනීමට, අධ්‍යාපනික වැඩසටහනක් සඳහා සහභාගි වීමට වැනි ඒ ඒ පරිශීලකයන් අදාළ වන අයුරින් හේතු පවසමින් හා සුම් රැස්වීමකට සහභාගි කරවා ගැනීම සඳහා දුරකතනයට ලැබුණු කේතය ලබා දෙන ලෙස හැකර්කරුවන් ඉල්ලා සිටින බවත්, නමුත් සැබැවින් ඔවුන් ඉල්ලා සිටින්නේ සුම් රැස්වීමකට සම්බන්ධ කරවා ගැනීමේ කේතය නොව හැකර්කරුවන්ට වස්ඇප් ගිණුමට ඇතුළු වීමට අවශ්‍ය කේතය බවත්, චාරුක දමුණුපොළ මහතා පැවැසුවේය. ඉල්ලා සිටින කේතය ලබා දුනහොත් සිය වස්ඇප් ගිණුමේ පාලනය හැකර්කරුවන්ට ලැබෙන බව ද ඔහු සඳහන් කළේය.




පාලනය ලබා ගැනීමෙන් පසුව එම වස්ඇප් ගිණුමේ ඇති අංකවලට නොයෙකුත් ආකාරයේ හේතු පවසමින් මුදල් ඉල්ලා හැකර්කරුවන් පණිවුඩ යවන බව ද ඔහු පැවැසුවේය.එවැනි පණිවුඩයක් ලැබුණහොත් ප්‍රථමයෙන් එම වස්ඇප් ගිණුම අයිති පුද්ගලයා අමතා එය තහවුරු කරගත යුතු බවත්, තහවුරු කරගැනීමකින් තොරව කිසිදු පණිවුඩයකට මුදල් බැර කිරීම නොකළ යුතු බවත්, දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.


වස්ඇප් ගිණුමක් හැක් වී ඇති බව දැනගතහොත් වහාම එම ගිණුම අයිති පුද්ගලයා එහි තිබූ අනෙකුත් දුරකතන අංක අමතා ඒ පිළිබඳ දැනුවත් කළ යුතු බව ද ඔහු පැවැසුවේය.ජනතාව මේ පිළිබඳ දැනුවත් වීමෙන් මෙම මූල්‍ය වංචාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ හැකියාව තිබෙන බව ද, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා ප්‍රකාශ කළේය.
( විමුක්ති එස්. රුද්‍රිගු)