women-police-cid

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුර සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මිය පත් කරනු ලැබ සිටී.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ එහි අධ්‍යක්ෂ ධුරයට කාන්තාවක පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉමේෂා මුතුමාල මහත්මිය මෙම තනතුරට පත්වීමට ප්‍රථම එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර හෙබවූවාය.




රහස් පොලිසියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරක් ප්‍රථම වතාවට දරනු ලැබුවේ ද මුතුමාල මහත්මිය විසිනි.මීට අමතරව පොලිසියේ තවත් ඉහළම පුටු තුනකට නියෝජ්‍ය පොලිස්පතිවරියක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියෝ දෙදෙනෙක් පත් කරනු ලැබ සිටිති.නියෝජ්‍ය පොලිස්පති ලංකා රාජිනී අමරසේන මහත්මිය පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය භාරව පත් කරනු ලැබ සිටී.



පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසය පිහිටුවා ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් කරන විෂමාචාර සහ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහාය. පොලිස් විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ තනතුර මීට පෙර දරා ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් විසිනි.රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුර දැරූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ.ඩී. කුමාරි මහත්මිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණ දෙන නිලධාරිනිය ලෙස පත් කරනු ලැබ සිටී.මෙම තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියක පත් කර ඇත්තේ මුල් වරටය.


මේ අතර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මධාරා ආරියසේන මහත්මිය පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරිය ලෙස පත් කරනු ලැබ සිටී.ඇය මීට පෙර ද මෙම තනතුර හොබවා ඇත.කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.ඒ. චන්ද්‍ර කුමාර මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනකුට මෙන්ම විවිධ තරාතිරමේ උසස් පොලිස් නිලධාරීන් පනස්හතර දෙනකුට ද ස්ථාන මාරු වීම් දී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍ර කුමාර මහතා පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිශාව භාරව පත් කර, කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති උජිත් පී. ලියනගේ මහතා පත් කර ඇත.




පොලිස් ශිෂ්‍ය භට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට ද මෙසේ ස්ථාන මාරු වීම් ලැබ ඇත.මීට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් තිස්පස් දෙනකුට, පොලිස් අධිකාරිවරුන් හත් දෙනකුට සහ සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනකුට ද ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.


මෙසේ ස්ථාන මාරු වීම් ලැබ තිබෙන සහකාර පොලිස් අධිකාරිවරුන් පස් දෙනා අතර කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ තනතුර දැරූ නෙවිල් ද සිල්වා මහතා ද සිටින අතර, ඔහු ස්ථාන මාරු කර ඇත්තේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයටය.පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මෙම ස්ථාන මාරු වීම් සිදු කර ඇත්තේ, වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. ස්ථාන මාරු වීම් ලබා දීමේ විශේෂ පොලිස් පණිවිඩය පෙරේදා (2) රාත්‍රියේ නිකුත් කළ බව පොලිස් මූලස්ථානය කියයි.
( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)