ලොස් ඇන්ජලීස් නගරය මේ දිනවල දැවැන්ත ලැව්ගිනි උවදුරකට මුහුණ දී සිටී. මෙම භයානක තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දහයක් මරණයට පත්ව ඇති අතර, තවත් බොහෝ දෙනෙකු තුවාල ලබා ඇත. ලොස් ඇන්ජලීස් කවුන්ටි මෙඩිකල් එග්සැමිනර් කාර්යාලය විසින් බ්‍රහස්පතින්දා සවස මෙම මරණ සංඛ්‍යාව තහවුරු කර ඇත්තේ, ඊට පැය කිහිපයකට පෙර වාර්තා වූ මරණ සංඛ්‍යාව මෙයින් දෙගුණයක් බවද පෙන්වා දෙමිනි.
ලොස් ඇන්ජලීස් කවුන්ටි ශෙරිෆ් රොබට් ලූනා මහතා පවසන්නේ ගින්නෙන් දැඩි ලෙස හානියට පත් වූ ප්‍රදේශ වලට ළඟා වීමට තවමත් අවදානම් සහගත බැවින්, මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි. ඔහු විසින් ගින්නෙන් විනාශ වූ ප්‍රදේශ "බෝම්බයකින් විනාශ කළ ප්‍රදේශයක් මෙන්" යැයි විස්තර කර ඇත.
මෙම ලැව්ගිනි උවදුර පැතිරී ඇත්තේ ප්‍රධාන වශයෙන් ප්‍රදේශ කිහිපයක් ඔස්සේය. ඉන් පැලිසේඩ්ස් ප්‍රදේශයේ ඇති වූ ගින්න ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ වාර්තා වූ වඩාත්ම විනාශකාරී ස්වභාවික ව්‍යසනයක් ලෙස හඳුනාගෙන ඇත. මෙම ගින්න අක්කර 17,234කට වැඩි භූමි ප්‍රමාණයක් දවා ලා ඇති අතර, ගොඩනැගිලි 5,300කට වැඩි සංඛ්‍යාවක් විනාශ කර ඇත. මේ වන විට මෙම ගින්නෙන් 6%ක් පමණක් පාලනය කර ගැනීමට හැකි වී තිබේ.
ඊටන් ගින්න ලෙස හඳුන්වන තවත් එක් ප්‍රධාන ලැව්ගින්නක් ඇල්ටඩේනා ප්‍රදේශයේ පැතිර යමින් පවතී. මෙම ගින්නෙන් අක්කර 13,690ක පමණ භූමි ප්‍රමාණයක් දැනටමත් විනාශ වී ඇති අතර, එමගින් ගොඩනැගිලි 4,000 සිට 5,000 දක්වා ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ගණන් බලා ඇත.
මේ අතර, හර්ස්ට් ගින්න අක්කර 855ක භූමි ප්‍රමාණයක් දවා ලා ඇති අතර, එය 10%ක් පමණ පාලනය කර ගැනීමට හැකි වී තිබේ. එමෙන්ම හොලිවුඩ් හිල්ස් ප්‍රදේශයේ ඇති වූ සන්සෙට් ගින්න හොලිවුඩ් බෝල් සහ වෝක් ඔෆ් ෆේම් වැනි සංචාරක ආකර්ෂණ ස්ථාන වලට තර්ජනයක් වී තිබේ.
මෙම ගිනි උවදුරු හේතුවෙන් මේ වන විට 80,000කට අධික පිරිසක් ඔවුන්ගේ නිවාස වලින් ඉවත් කර ඇති අතර, එක් අවස්ථාවක 130,000කට වැඩි පිරිසක් ඉවත් වීමේ නියෝග යටතේ සිට ඇත. ගිනි මැඬපැවැත්වීමේ කටයුතු සඳහා නෙවාඩා, ඔරගන් සහ වොෂින්ටන් ප්‍රාන්ත වල ගිනි නිවන භටයින්ද සහය දක්වමින් සිටිති.
ගිනි මැඬපැවැත්වීමේ කටයුතු වලට බාධා පමුණුවන ප්‍රධානතම සාධකය වන්නේ සැන්ටා ඇනා සුළං තත්ත්වයයි. පැයට සැතපුම් 60 දක්වා වේගයෙන් හමන මෙම සුළං හේතුවෙන් ගිනි තවදුරටත් පැතිරීමේ අවදානමක් පවතින බැවින් රතු කොඩි අනතුරු ඇඟවීම සිකුරාදා දක්වා දීර්ඝ කර ඇත. මෙම තත්ත්වය හේතුවෙන් වායු තත්ත්වය පිරිහීමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ පාසල් වසා දැමීමටද සිදුව තිබේ.
අලුතින් ඇති වූ කෙනත් ගින්න සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වුඩ්ලන්ඩ් හිල්ස් ප්‍රදේශයේ ගින්නක් ඇති කිරීමට උත්සාහ දරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගන්නා තෙක් රඳවාගෙන සිටි මෙම පුද්ගලයා පසුව පොලිසියට බාර දී ඇත. අනෙකුත් ගිනි ඇති වීම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.
ගිනි උවදුර හේතුවෙන් විදුලි සැපයුම බරපතල ලෙස බාධා වී ඇත. ලොස් ඇන්ජලීස් කවුන්ටි ප්‍රදේශයේ පමණක් නිවාස 115,895ක විදුලිය බිඳ වැටී ඇති අතර, අසල්වැසි සැන් බර්නඩිනෝ කවුන්ටි ප්‍රදේශයේ නිවාස 32,725ක පමණ විදුලිය බිඳ වැටී ඇති බව PowerOutage.us වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ අතර, හිස් කරන ලද නිවාස කොල්ලකෑම වැළැක්වීම සඳහා ඇඳිරි නීතියක් පැනවීමට සැලසුම් කර ඇති අතර, මේ වන විටත් එවැනි සිද්ධි සම්බන්ධයෙන් පුද්ගලයින් විස්සක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. ගින්න මැඬපැවැත්වීමේ කණ්ඩායම් වාර්තා කරන්නේ ඔවුන් දැඩි ජල හිඟයකට මුහුණ පා සිටින බවත්, මෙම සටන දිනීමට නොහැකි වනු ඇතැයි බියක් පවතින බවත්ය.
මෙම ලැව්ගිනි උවදුර සම්බන්ධයෙන් වැරදි ලෙස නිකුත් කරන ලද ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ජනතාව මිලියන 10ක් පමණ බියට පත්ව ඇත. කෙසේ වෙතත්, මෙම වැරදි ඇඟවීම තර්ජනයට ලක්ව නොමැති ප්‍රදේශ වල ජනතාව තුළ අනවශ්‍ය බියක් සහ සැකයක් ඇති කර ඇති බව නිලධාරීන් පිළිගෙන තිබේ.
0 Comments