
ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ ජායිපූර් නගරයේ සිකුරාදා උදෑසන සිදුවූ බියකරු අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් සැලකිය යුතු පිරිසක් බරපතල තුවාල ලබා ඇත. වාහන 40 ක් පමණ විනාශවී ඇත. ජායිපූර් - අමීර් අධිවේගී මාර්ගයේදී සිදුවූ මෙම අනතුර LPG ටැංකර් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් ඇති වූ දැවැන්ත ගින්නක් හේතුවෙන් සිදුව ඇත.
එස් එම් එස් වෛද්‍ය විද්‍යාලයේ විදුහල්පති වෛද්‍ය දීපක් මහේෂ්වරී මහතාගේ ප්‍රකාශයට අනුව, මෙම අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් ඇති අතර, ඉන් 5 දෙනෙකු එස් එම් එස් රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත. ජාපූරියා රෝහලේදී තවත් එක් පුද්ගලයෙකුගේ මරණය වාර්තා වී තිබේ.
රාජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ගර්ජන්ද්ර සිං රිම්සාර් මහතා සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් සියයට පනහක පමණ පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන බවයි. ජයිපූර් පොලිස් කොමසාරිස් බිජු ජෝර්ජ් ජෝෂප් මහතා පැවසූ පරිදි, අනතුර සිදුව ඇත්තේ පෙරවරු 5.30ට පමණ වන අතර, ගැටුමෙන් LPG ටැංකියට හානි වී ගෑස් කාන්දු වීමෙන් දැවැන්ත ගින්නක් ඇති වී තිබේ.
පොලිස් කොමසාරිස්වරයාගේ වැඩිදුර පැහැදිලි කිරීම් වලට අනුව, ටැංකියට පසුපසින් නවතා තිබූ වාහන මෙන්ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වාහන ද ගින්නට හසුව තිබේ. ගෑස් කාන්දුව හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගිය අතර, වාහනවල සිටි මගීන්ට ඉක්මනින් පිටවීමට නොහැකි වීම හේතුවෙන් තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ.
තුවාල ලැබූවන් ගිලන් රථ 25කට වැඩි සංඛ්‍යාවක් මගින් ජයිපූර් රෝහල් වෙත රැගෙන ගොස් ඇත. වෛද්‍ය මහේෂ්වරී මහතා තහවුරු කළේ රෝහල් ගත කර ඇති 43 දෙනාගෙන් හත් දෙනෙකු වෙන්ටිලේටර් ආධාර මත ප්‍රතිකාර ලබන බවයි.
රාජස්ථාන් ප්‍රාන්ත රජය මියගියවුන්ගේ පවුල් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 5ක වන්දි මුදලක් ද, තුවාල ලැබූවන් වෙනුවෙන් රුපියල් ලක්ෂයක ආධාර මුදලක් ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු, අගමැති නරේන්ද්‍ර මෝදි, මධ්‍යම ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා, රාජස්ථාන් මහ ඇමති භජන් ලාල් ශර්මා සහ හිටපු මහ ඇමති අශෝක් ගෙහ්ලෝත් යන මැති ඇමතිවරු සිය සංවේගය ප්‍රකාශ කර සිටියහ.
PTI පුවත් සේවය වාර්තා කළ පරිදි, ප්‍රදේශවාසීන් දුමාරය හේතුවෙන් කැස්ස සහ ශ්වසන අපහසුතා ඇති වූ බව පැමිණිලි කර ඇත. සමහර සාක්ෂිකරුවන් පවසා ඇත්තේ ගින්නෙන් අහසේ පියාඹමින් සිටි කුරුල්ලන් ද ගිනිබත් වූ බවයි. අනතුර හේතුවෙන් අධිවේගී මාර්ගයේ නල පද්ධතියට ද හානි සිදුව ඇත. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ අනුව, කිලෝමීටරයක පමණ දුරින් පවා ගිනිදැල් දැකගත හැකි වී තිබේ.
අනතුර සිදුවූ ස්ථානයට ගිනි නිවන රථ කිහිපයක් මන්සරෝවර් ප්‍රදේශයෙන් මුලින්ම පැමිණි අතර, පසුව අවට ප්‍රදේශ වලින් ද තවත් ගිනි නිවන රථ යොදවා ඇත. සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු සඳහා ප්‍රාදේශීය ප්‍රවාහන කාර්යාලයේ කණ්ඩායමක් ද පැමිණ ඇති අතර, අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයේ කණ්ඩායම් විසින් අදාළ සාම්පල රැස් කර ගෙන තිබේ.
මෙම අනතුරින් විනාශ වූ වාහන අතර ට්‍රක් රථ, කන්ටේනර්, බස් රථ, පිකප් රථ දෙකක්, යතුරුපැදි දෙකක්, ත්‍රීරෝද රථ දෙකක් සහ මෝටර් රථ හතක් ඇතුළු වාහන 40ක් පමණ ඇතුළත් වන බව වාර්තා වේ. පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයක රියදුරෙකු පවසා ඇත්තේ මාර්ගයේ ගිනිදැල් මැද සිරවී සිටි පුද්ගලයින් දැක ඇති බවයි.

Comments
Post a Comment
Your comment will be visible after approval