ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස සහ අභිව්‍යක්ති නිදහස ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාකාරී පියවර ගන්නා ලෙස ඉල්ලමින් දේශීය හා ජාත්‍යන්තර සිවිල් සමාජ සංවිධාන 19ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.
පෙර රජයන් සමයේ සිදුවූ මාධ්‍යවේදීන්ට එරෙහි ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී හා කඩිනම් පරීක්ෂණ නැවත ආරම්භ කිරීම හෝ නව පරීක්ෂණ ආරම්භ කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මාධ්‍යවේදීන්ට එරෙහි බිය ගැන්වීම් හා හිරිහැර කිරීම් අවසන් කිරීම මෙම සංවිධාන විසින් ඉල්ලා සිටී. ඉල්ලීම් අතර පහත කරුණු තිබේ.
• මාර්ගගත ආරක්ෂණ පනත සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අවලංගු කිරීම
• පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත සහ පුද්ගලික දත්ත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම
• ස්වාධීන, ස්වයං නියාමන මාධ්‍ය කොමිසමක් පිහිටුවීම
මෙම ලිපියේ පිටපත් අධිකරණ සහ ජනමාධ්‍ය විෂයභාර අමාත්‍යවරුන් වෙත ද යොමු කර ඇත.
සිවිල් යුද්ධය අතරතුර සහ ඉන් පසුව මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඝාතනය කිරීම්, පැහැරගෙන යාම් සහ ශාරීරික ප්‍රහාර එල්ල කිරීම් ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බව මෙම සංවිධාන අවධාරණය කරයි. එම පරීක්ෂණ එක්සත් ජාතීන්ගේ මිනිසොතා වාර්තාව (Minnesota Protocol) යටතේ දක්වා ඇති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, සාක්ෂිකරුවන් සහ පරීක්ෂකයන් සඳහා ශක්තිමත් ආරක්ෂණ යාන්ත්‍රණ අවශ්‍ය වේ.
2010 වසරේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට සහ ඝාතනය කිරීමට ලක්වූ බවට සැක කෙරෙන මාධ්‍යවේදී සහ කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ නඩු විභාගය කඩිනමින් අවසන් කර සියලු වැරදිකරුවන් වගවීමට ලක් කරන ලෙස ද මෙම සංවිධාන ඉල්ලා සිටී.
විශේෂයෙන් දීර්ඝ කාලීන දැඩි නිරීක්ෂණයට සහ වාර්තාකරණයේ අනවශ්‍ය සීමාවන්ට මුහුණ දී සිටින දෙමළ ජාතික මාධ්‍යවේදීන්ට එරෙහි හිරිහැර කිරීම් හා බිය ගැන්වීම් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් නතර කළ යුතු බවට ද අවධාරණය කෙරේ.
තවද, මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු හේතුවෙන් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති අපරාධ නඩු ඉල්ලා අස්කර ගැනීමට පහසුකම් සැලසිය යුතු අතර, 'රජයේ නිලධාරීන් බිය ගැන්වීම' යන චෝදනාව යටතේ මාධ්‍යවේදීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත යුතු බව ද සඳහන් කෙරේ.
මාර්ගගත ආරක්ෂණ පනත මගින් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමකට මාර්ගගත අන්තර්ගතය වාරණය කිරීමට පුළුල් බලතල ලබා දී ඇති අතර, එමගින් අභිව්‍යක්ති නිදහසට බාධා ඇති කරන බැවින් එම පනත අවලංගු කර, සාමකාමී මාර්ගගත ප්රකාශනයට අනවශ්‍ය සීමා නොපනවන හා පෞද්ගලිකත්ව අයිතිය අවදානමට ලක් නොකරන, හිරිහැර කිරීම් හා වංචා වැනි සැබෑ මාර්ගගත අපරාධ විසඳීම සඳහා නව සයිබර් ආරක්ෂණ නීති හඳුන්වා දිය යුතු බව මෙම සංවිධාන පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගු කලක් තිස්සේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු හේතුවෙන් ඔවුන් සිරගත කිරීමට සහ හිරිහැර කිරීමට යොදා ගෙන ඇති අතර, එවැනි වැරදි රටේ පවතින අපරාධ නීති රාමුව තුළ විසඳිය යුතු බව ද අවධාරණය කෙරේ.
පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත මගින් මහජන උනන්දුව දැක්විය යුතු පාර්ලිමේන්තු කටයුතු වාර්තාකරණය සීමා කරන බැවින්, පාර්ලිමේන්තු කාරක සභා සඳහා මාධ්‍ය ප්‍රවේශය වැඩි කිරීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ද යෝජනා කෙරේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත අභිබවා යාමට පුද්ගලික දත්ත ආරක්ෂණ පනතට ඇති හැකියාව ඉවත් කළ යුතු අතර, එක් පනතක් අනෙක් පනත අභිබවා නොයා යුතු බව ද සඳහන් කෙරේ.
යෝජිත මාධ්‍ය කොමිසම මාධ්‍ය නිදහස ආරක්ෂා කළ යුතු අතර, මාධ්‍යවේදීන් අපරාධකරණයට ලක් නොකර හෝ ඔවුන්ගේ කටයුතුවලට අනවශ්‍ය සීමා නොපනවා මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳ කරුණු විනිශ්චය කළ යුතු බව ද මෙම සංවිධාන පෙන්වා දෙයි. කොමිසමේ සාමාජිකත්වය තුළ මාධ්‍ය අංශයේ සාධාරණ හා ප්‍රමාණවත් නියෝජනයක් තහවුරු කළ යුතු අතර, අධිකරණයක් ඇතුළුව එහි තීරණවලට එරෙහිව අභියාචනා කිරීමේ අයිතිය සහතික කළ යුතු බව ද අවධාරණය කෙරේ.
මාධ්‍ය නිදහස සුරැකීමට සම්බන්ධ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, Access Now, Bolo Bhi, Centre for Justice and Accountability, CIVICUS: World Alliance for Citizen Participation, Committee to Protect Journalists, Dart Centre for Journalism and Trauma, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, Freedom Forum Nepal, Human Rights Watch, International Freedom of Expression Exchange, International Federation for Human Rights, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, International Press Institute, Overseas Press Club of America Incorporated, PEN International, PEN ශ්‍රී ලංකා, Reporters Without Borders සහ ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධාන විසින් ඉහත ඉල්ලීම් ද ඉදිරිපත් කර ඇත.
0 Comments