ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට ගිය ගුවන් ගමනක දී කාන්තාවකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෙකුට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටව යාම තහනම් කර ඇත.
අසංක මැතිව් පොඩිඅප්පුහාමිලාගේ (41) නැමැති සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනි දින මෙල්බර්න් ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණි. ගුවන් ගමනේ දී සිදුවූ බවට කියන ලිංගික අතවරය සම්බන්ධයෙන් මගියෙකු විසින් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයට පැමිණිලි කර තිබිණි.
මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේ දී භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව පැමිණි සැකකරුට අශෝභන ක්‍රියා චෝදනාව එල්ල විය.
මෙම වරද සඳහා වැරදිකරු වුවහොත් උපරිම වශයෙන් වසර හතක සිර දඬුවමක් හිමි විය හැකිය.
ශ්‍රී ලාංකිකයා දෙසැම්බර් 19 වැනි දින පළමු වරට අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, දැඩි කොන්දේසි මත ඇප ලබා දී ඇත. ඒ අනුව ඔහු විසින් ගමන් බලපත්‍රය භාර දී ඇති අතර, නඩුව විභාග වන තෙක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හෝ රටින් පිටව නොයා යුතුය. මෙම තත්වය තුළ ඔහුට 2025 මාර්තු අවසානය දක්වා සිටීමට සිදුවනු ඇතැයි වාර්තා පළවේ.
ඇප කොන්දේසි යටතේ සතියකට තුන් වතාවක් පොලිස් ස්ථානයකට වාර්තා කළ යුතු අතර, නිවාස අඩස්සියකට යටත්ව ජීවත් විය යුතුය.
බ්‍රහස්පතින්දා පැවති අධිකරණ විභාගයේ දී සැකකරුගේ නීතිඥයා ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව වයස 41ක් වන සැකකරුට ග්ලෙන් වේවර්ලි හි නව ලිපිනයක තනිව ජීවත් වීමට අවසර ඉල්ලා සිටින ලදී.
නීතිඥ නටාෂා ෆෙරෙයිරා මහත්මිය පැවසූ පරිදි, ජනවාරි 30 වන විට සීසීටීවී දර්ශන ඇතුළු සාක්ෂි සටහන් සැකකරුගේ නීති ආධාර කණ්ඩායමට ලබා දෙනු ඇත.
ගුවන් ගමන් කරන සියලු දෙනාට ආරක්ෂිතව ගමන් කිරීමට අයිතියක් ඇති බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් අධීක්ෂක ස්ටීවන් කුක් මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපොළේ සහ ගුවන් යානා තුළ දී සියලු දෙනා ඕස්ට්‍රේලියානු නීතියට යටත් වන බවත්, නුසුදුසු හැසිරීම් සඳහා කිසිදු ඉවසීමක් නොදක්වන බවත් ඔහු අවධාරණය කළේය.
මින් ඉහත ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකද ඕස්ට්‍රෙලියාවේදී කාන්තාවකට අතවර උත්සාහයක යෙදුණ චෝදනා නිසා මේ ආකාරයේ කොන්දේසි පනවා නඩු විභාගයකට මුහුණ දුන්නේය.
ඉහත පුවත ඕස්ට්‍රෙලියාවේ ප්රමුඛ මාධ්‍ය වන skynews.com.au හා news.com.au ඇතුළු ජාලා ගණනාවක ඡායාරූප සහිතව පළ කර තිබේ.
0 Comments