හදිසියේ අසනීප තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහලට පසුගිය 10 දා ඇතුළත් කළ ආර්. දුමින්ද සිල්වා සිරකරු එහි ප්‍රතිකාර අවසන්ව රැගෙනවිත් යළිත් බන්ධනාගාර රෝහලෙහි රඳවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
මේ පිළිබඳව කළ විමසුමකදී බන්ධනාගාරයේ උසස් නිලධාරියකු පැවසුවේ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කර අවසන් බව කොළඹ ජාතික රෝහලෙන් දැන්වූ පසු ඔහුව රැගෙන ඒමට බන්ධනාගාර නිලධාරීන් රැගත් වාහනයක් එහි ගියද සිරකරුව බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත යළිත් බන්ධනාගාර රෝහලට යොමු කර ඇති බවයි.
බන්ධනාගාර රෝහලෙහි ප්‍රධාන වෛද්‍යවරයා නිර්දේශ කර ඇත්තේ බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා ලබන 15දා (බදාදා) බන්ධනාගාර රෝහල වෙත පැමිණ පරීක්ෂා කර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන තෙක් මෙම සිරකරුව බන්ධනාගාර රෝහලේ රඳවා තබන ලෙස බවත් එම වෛද්‍ය නිර්දේශයන්ට පටහැණිව තමන්ට කිසිවක් කළ නොහැකි බවත්ය.
බන්ධනගාර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර වාට්ටුවක් වන K-1 වෙත පසුගිය 10දා ඔහුව යොමු කළ අතර එදිනම රාත්‍රී 2.00ට පමණ ඔහු අසනීප වී කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි. එහිදී අදාළ ප්‍රතිකාර ලබාදීමෙන් පසු එම සිරකරු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබිණි. අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කළ සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුතු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්, ඔහුට තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අනවශ්‍ය බවට ලබා දුන් නිර්දේශ මත පසුගිය 10දා ඔහුව බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සිර වාට්ටුවකට මෙසේ මාරු කර යවන ලදි.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ පරිදි දුමින්ද සිල්වා සිරකරු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර, බන්ධනාගාර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි අතර අදාළ සිරකරුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය ද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසා සිටින ලදි. ඒ සඳහා 18 දෙනෙකුගෙන් යුතු මෙම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පත් කරනු ලැබූ අතර එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශය මෙම 10 වැනි දින බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබුණු අතර එහි සඳහන් වී ඇත්තේ අදාළ සිරකරුව තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ හෝ වෙනත් රෝහලක රෝහල්ගත කර සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. එමෙන්ම එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඕනෑම අවස්ථාවක හදිසි සංකූලතාවක් ඇතිවුවහොත් ඒ සඳහා නොපමාව ප්‍රතිකාර ලබා දිය යුතු බවයි.
0 Comments