විල්පත්තුව බටහිර මායිමේ වෙරළ තීරයේදී හමු වූ ඩොල්ෆින් මත්ස්‍යයන් 12 දෙනා මියගොස් ඇත්තේ නීති විරෝධී 'ලයිලා' හා 'සුරුක්කු' ධීවර කර්මාන්තයේ යම් ක්‍රියාකාරකමක් හේතුවෙන්දැයි යන්න පිළිබඳ විමර්ශනයක් කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වෙරළ තිරයේ මරණයට පත්ව සිටි ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ සිරුරු සම්බන්ධව වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සමඟ පශු වෛද්‍ය ඩබ්ලිව්.එල්.යූ. මධුවන්ති යන දෙදෙනා ඇතුළු කාර්ය මණ්ඩලය පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දැලක පැටලීම හේතුවෙන් මසුන් මරණයට පත්ව ඇති බවකි.
කෙසේ නමුත් මෙලෙස විශාල ඩොල්ෆින් මත්ස්‍යයන් කිසිදු හේතුවක් නැතිව ස්වාභාවිකව මරණයට පත්විය නොහැකි බව ද වනජීවී නිලධාරීහු පවසති.
මේ පිළිබඳ පූර්ණ වාර්තාවක් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මියගිය ඩොල්ෆින් මසුන් 12 දෙනාගේ සිරුරු සුදුසු ස්ථානයක වළ දමන ලෙස වනජීවී නිලධාරීන්ට අධිකරණයෙන් නියෝගයක් දී තිබේ.
විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තීරයට මියගිය විශාල ඩොල්ෆින් මත්ස්‍යයන් 12 දෙනකුගේ සිරුරු ගොඩ ගසා තිබියදී හමු වූයේ පෙරේදා (08) සවස් කාලයේදීය.
මෙලෙස මරණයට පත්ව ඇති ඩොල්ෆින් මත්ස්‍යයන් අඩි 8ත් - 10ත් අතර විශාල බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා සඳහන් කළේය.
මෙම ඩොල්ෆින් මත්ස්‍යයන් පෙරේදා (08) සවස වෙල්ලමුන්දලම හා කොල්ලන්කනත්ත වෙරළ තීරයේ ගොඩගසා තිබියදී කොල්ලනත්ත නාවික හමුදා අණු කණ්ඩායේ නිලධාරීන් දැක ඒ බව වනජීවී නිලධාරීන්ට දැනුම් දී තිබේ.
මෙසේ මරණයට පත්ව සිටි ඩොල්ෆින් මත්ස්‍යයන් 12 දෙනාට අමතරව වෙරළ තීරයේ තවත් තැනක දඟලමින් පණ පිටින් සිටි ඩොල්ෆින් මත්ස්‍යයකු නාවික නිලධාරීන් හා භට පිරිස් එක්වී නැවත ගැඹුරු මුහුදට රැගෙන යෑමට කටයුතු කර ඇති බව ද කියයි.
මෙම ඩොල්ෆින් මත්ස්‍යයන් විශාල පිරිසක් එකම ස්ථානයක මෑත කාලයේ මරණයට පත්ව හමුවූ පළමු අවස්ථාව ද මෙය වෙයි.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ, රසුල දිල්හාර ගමගේ)
0 Comments