New-Orleans-attacker-was-a-former-soldier-who-joined-ISIS-after-two-failed-marriages

ජනවාරි පළමුවෙනිදා ඇමරිකාව කළඹමින් නිව් ඔලියන්ස්හි ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පුද්ගලයින් 15 දෙනෙකු ඝාතනය කළ ෂම්සුද්-දීන් ජබ්බාර්, අසාර්ථක විවාහ දෙකක් සහ මූල්‍ය ගැටලුවලට මුහුණ දීමෙන් පසු ඉස්ලාමීය රාජ්‍යය ISIS වෙත බැඳී එමගින් අන්තවාදීකරණය කරන ලද හිටපු සෙබළෙකු බව දැනට පවත්වන පරීක්ෂණ මගින් අනාවරණය කර තිබේ.

වයස අවුරුදු 42ක් වූ තොරතුරු තාක්ෂණ විශේෂඥයකුද වන ඔහු දේපළ තැරැව්කරු ලෙසද කටයුතුකර ඇත.
නව වසර සැමරූ ජනතාව අතරට බර්බන් වීදියේ ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය රැගත් පිකප් රථයක් පැදවූයේ ශරීර ආරක්ෂක කවචයකින් සහ හමුදා ඇඳුමකින් සැරසී සිටියදීය.

අත් ගිනි අවියකින් සහ AR-වර්ගයේ රයිෆලයකින් සන්නද්ධව සිටි ඔහු, රථය හැප්පීමෙන් පසු එයින් පිටතට පැමිණ පොලිස් නිලධාරීන් සමඟ වෙඩි හුවමාරුවක නිරත වී නිලධාරීන් දෙදෙනෙකුටද වෙඩි තැබූ අතර පසුව පොලිස් ප්‍රහාර වලින් ඝාතනය විය. වාහනයේ  ඉස්ලාමීය රාජ්‍ය කොඩියක් සවිකර තිබූ බවද FBI  තහවුරු කර ඇත.



"මෙම ප්‍රහාරයට ජබ්බාර් තනිවම වගකිව යුතු යැයි අපි විශ්වාස නොකරමු," යැයි FBI හි සහකාර විශේෂ භාර නිලධාරිනී අලීතියා ඩන්කන් ජාත්‍යන්තර මාධ්‍ය වලට පැවසුවාය.

ජබ්බාර් කිසියම් පුළුල් ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමක් සෘජුවම සම්බන්ධ වූයේද නැතහොත් එහි ප්‍රචාරණයෙන් පමණක් අභිප්‍රේරණය වූයේද යන්න පැහැදිලි නැති නමුත් ලෝකය පුරා මාරක ප්‍රහාර සඳහා වගකිව යුතු ඉස්ලාම්වාදී අන්තවාදී කණ්ඩායම සමඟ සෘජු සබඳතා තබාගෙන සිටි බවට ජනාධිපති ජෝ බයිඩන්ද තහවුරු කළේය.

ප්‍රහාරයට පැය කිහිපයකට පෙර, ඔහු ඉස්ලාමීය රාජ්‍යයෙන් අභිප්‍රේරණය වූ බව සහ මිනීමැරීමේ අභිලාෂයක් ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍යවල වීඩියෝ 5 ක් පළ කර තිබුණි.

ප්‍රහාරයෙන් පසු ලබාගත් ඡායාරූපවල රැවුලක් සහිත ජබ්බාර් කැමෝෆ්ලාජ් කලිසමක් සහිතව ට්‍රක් රථය අසල මිය ගොස් සිටියේය.
NBC News විසින් ලබාගත් ජබ්බාර්ගේ හමුදා සේවා වාර්තාවකට අනුව, ඔහු 2006 සිට 2015 දක්වා එක්සත් ජනපද හමුදාවේ සක්‍රීය සේවයේ නියැලී සිටි අතර 2009 දී ඇෆ්ගනිස්ථානයට යොමු කරනු ලැබූවෙකි.
පරිපාලන ලිපිකරුවෙකු වූ ඔහු පසුව වසර පහක් හමුදා සංචිතයේ සේවය කළ අතර 2020 දී කාර්ය මණ්ඩල සාර්ජන්ට් තනතුරින් ගෞරවනීය ලෙස විශ්‍රාම ගියේය.
ඔහු 2004 දී නාවික හමුදාවට බැඳීමට උත්සාහ කළ නමුත් බඳවා ගැනීමේ පුහුණු වැඩසටහනට සහභාගී වී නැත.



ජබ්බාර්ට දියණියන් දෙදෙනෙක් සිටි අතර, එක් අයෙක් පාසල් යන වියේ පසුවන්නියක වන අතර අනෙක් තැනැත්තිය පාසල් අධ්‍යාපනය හමාර කළ තරුණියකි. පසුගිය වසර තුළ ඔහු අන්තවාදීකරණයට ලක් වී ඇති බව වාර්තා ලැබී ඇත.

ජබ්බාර්ගේ දෙවන බිරිඳ සමඟ විවාහ වී සිටින ඩ්වේන් මාර්ෂ්, නිව් යෝර්ක් ටයිම්ස් වෙත පවසා ඇත්තේ සැකකරු පසුගිය වසරේදී ඉස්ලාම් සංවිධානයට හැරෙන්නට පටන් ගෙන තිබූ බවත් "පිස්සු නටමින් සිටි" බවත්ය. ප්‍රහාරයෙන් පසු ජබ්බාර්ගේ දියණියන් "කැළඹී"  සිටි බව ඔහු පැවසීය.

නිව් යෝර්ක් ටයිම්ස් විසින් ලබාගත් උසාවි ලේඛනවලින් පෙනී යන්නේ ජබ්බාර්ට මූල්‍ය සහ පෞද්ගලික අරගල තිබූ බවයි. ඔහු දෙවරක් විවාහ වී ඇති අතර, 2022 දී දික්කසාද නඩු කටයුතුවලට සම්බන්ධ වී ඇති අතර එමගින් ඔහුගේ නිවස අහිමි වීමේ අවදානමට ලක්ව සිටියේය.

"එය ඩොලර් 27,000කට වැඩි මුදලක් හිඟව ඇති අතර දික්කසාදය විසඳීම ප්‍රමාද කළහොත් උකස් කිරීමේ අවදානමක් පවතී," යැයි ඔහු තම බිරිඳගේ නීතිඥයාට ලිඛිතව දන්වා ඇත. ඔහු පිහිටුවූ දේපළ සමාගම පෙර වසරේදී ඩොලර් 28,000කට වැඩි මුදලක් අහිමි කර ගෙන ඇති බව ඔහු පැවසීය.
පොදු වාර්තාවලට අනුව ජබ්බාර්ට සොරකම සහ අත්හිටුවූ බලපත්‍රයක් සහිතව රිය පැදවීම වැනි සුළු වැරදි සඳහා අපරාධ වැරදිකරු වී තිබේ.