2025 ජනවාරි 19 වන දිනට පෙර TikTok වේදිකාව විකිණීමක් සිදු නොවුවහොත් එය ඇමරිකා එක්සත් ජනපදය තුළ තහනම් කිරීමට නියමිතය. මෙම තහනම සම්බන්ධයෙන් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තර්ක විභාග කර ඇති අතර, විනිසුරුවරුන් පනතට සහය දැක්වීමට නැඹුරු වන බව වාර්තා වේ.
චීන රජය විසින් TikTok හි ඇමරිකානු මෙහෙයුම් එලොන් මස්ක් වෙත විකිණීම සලකා බලන බවට වාර්තා පළ වී තිබුණත් එය ව්‍යාජ පුවතක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමරිකා එක්සත් ජනපදයේ TikTok සමාජ මාධ්‍ය වේදිකාව තහනම් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පසුගිය වසර පුරා සැලකිය යුතු සංවාදයක් ගොඩනැගී තිබුණි.
ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලු මෙම තහනමට ප්‍රධාන හේතුව වී තිබේ. චීන සමාගමක් වන ByteDance හි අයිතිය යටතේ පවතින TikTok වේදිකාව ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හඳුනාගෙන තිබේ. චීන රජයට පරිශීලක දත්ත වෙත ප්‍රවේශ වීමේ හැකියාව, පරිශීලකයින්ගේ නැරඹුම් රටා හා දේශපාලන අරමුණු සඳහා යෙදවුමේ ඇල්ගොරිතම හැසිරවීමේ හැකියාව පිළිබඳ සැලකිය යුතු සැකයක් පවතී.
මේ සම්බන්ධයෙන් 2024 අප්‍රේල් මාසයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් නව පනතක් අත්සන් කර තිබුණි. එම පනතට අනුව, තහනමක් වැළැක්වීම සඳහා දින 270ක කාලයක් තුළ TikTok වේදිකාව චීන නොවන ආයතනයකට විකිණිය යුතුය.
තහනම ක්‍රියාත්මක වුවහොත්, TikTok යෙදවුම ඇමරිකානු යෙදවුම් වෙළඳසැල් වලින් ඉවත් කෙරෙනු ඇත. මෙමගින් නව බාගත කිරීම් වැළැක්වෙන අතර, දැනට යෙදවුම භාවිතා කරන පරිශීලකයින්ට එය දිගටම භාවිතා කළ හැකි නමුත්, යාවත්කාලීන කිරීම් නොලැබීම නිසා ආරක්ෂක අවදානම් ඇතිවිය හැකිය.
කෙසේ වෙතත්, තහනමක් පැනවුවහොත් පරිශීලකයින්ට VPN තාක්ෂණය භාවිතයෙන් TikTok වෙත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.
කෙසේ වෙතත් කලින් TikTok තහනමක් සඳහා පෙනී සිටි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ByteDance හි ප්රමුඛ ආයෝජකයෙකු හමුවීමෙන් පසු තම ස්ථාවරය වෙනස් කර ඇති අතර, තහනම ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට ඉල්ලා සිටී.
මේ අතර, ඇමරිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනවාරි 19 දිනට නියමිත තහනම් කාල සීමාව දීර්ඝ කරන ලෙස ජනාධිපති බයිඩන්ගෙන් ඉල්ලා තිබේ.
මෙම සමස්ත තත්ත්වය ඇමරිකා-චීන ආර්ථික හා තාක්ෂණික සබඳතා මෙන්ම සමාජ මාධ්‍ය ක්ෂේත්රයේ අනාගතය කෙරෙහි ද සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් තරුණ පරම්පරාව අතර ජනප්‍රිය මෙම සමාජ මාධ්‍ය වේදිකාවේ ඉරණම තීරණය වන ආකාරය කෙරෙහි ලොව පුරා අවධානය යොමු වී තිබේ.
0 Comments