Tomiko-Itooka-the-worlds-oldest-person-dies-at-116

ලෝකයේ වයසින් වැඩිම පුද්ගලයා වූ ජපන් ජාතික ටොමිකෝ ඉටූකා මහත්මිය වයස අවුරුදු 116දී මිය ගොස් ඇති බව ඇය ජීවත් වූ ජපානයේ අෂියා නගර පරිපාලනය සෙනසුරාදා නිවේදනය කළේය. දරුවන් සිව්දෙනෙකු සහ මුණුබුරන් පස්දෙනෙකු සිටි ඇය 2019 වසරේ සිට වැඩිහිටි නිවාසයක ජීවත් වූ අතර දෙසැම්බර් 29 වැනිදා එහිදී මිය ගියාය.

"ඉටූකා මහත්මිය ඇගේ දීර්ඝ ජීවිත කාලය තුළ අපට ධෛර්යය සහ බලාපොරොත්තුව ලබා දුන්නා.ඒ සඳහා අපි ඇයට ස්තූතිවන්ත වෙමු" යැයි අෂියා නගරාධිපති ර්යෝසුකේ තකෂිමා පැවසීය.

1908 මැයි 23 වැනිදා අෂියා නගරයට ආසන්න ඔසාකා හි උපන් ඇය, 2024 අගෝස්තු මාසයේදී වයස 117 දී මිය ගිය ස්පාඤ්ඤ ජාතික මරියා බ්‍රන්යාස් මොරේරා මහත්මියගේ අභාවයෙන් පසු ලෝකයේ වයසින් වැඩිම පුද්ගලයා ලෙස හඳුනාගනු ලැබීය.

තරුණ කාලයේ වොලිබෝල් ක්‍රීඩිකාවක වූ ඇය යුද්ධ, වසංගත සහ තාක්ෂණික විප්ලවයන් හරහා ගමන් කළාය. නගර සභාවේ නිවේදනයට අනුව, ඇය කේසෙල් සහ ජපානයේ ඉතා ජනප්‍රිය ලැක්ටික් පාන වර්ගයක් වන කැල්පිස් පානය කිරීමට ප්‍රිය කළාය.

ජපානය දැන් ජනගහන අර්බුදයකට මුහුණ දී සිටින අතර, වැඩිවන වයස්ගත ජනගහනයක් සහ අඩුවන ක්‍රියාකාරී ජනගහනයක් සමඟ සෞඛ්‍ය සහ සමාජ වියදම් ඉහළ යමින් පවතී. සැප්තැම්බර් මාසයේදී, ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් 95,000කට වඩා සිටි අතර, ඉන් 88%ක් කාන්තාවන්ය. මිලියන 124ක් වන රටේ ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් වයස අවුරුදු 65 හෝ ඊට වැඩි අය වේ.

ලෝකයේ වයසින් වැඩිම පිරිමියා වූ ජෝන් ඇල්ෆ්‍රඩ් ටිනිස්වුඩ් 2024 දෙසැම්බර් මාසයේදී වයස අවුරුදු 112දී මිය ගියේය.  2024 අප්‍රේල් මාසයේදී ගිනස් වාර්තා පොත විසින් ලෝකයේ වයසින් වැඩිම පිරිමියා ලෙස ඔහු පිළිගනු ලැබීය.