කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රකට රියැලිටි ගායකයකු වන අජිත් බණ්ඩාර මහතා සිය නිවසේදී අසල්වැසියකුගේ පිහි පහරකට ලක්ව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම සිද්ධිය පසුගිය සිකුරාදා (10) දින සවස 4.30ට පමණ කුරුණෑගල, දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සිදුව ඇත.
"කාටවත් කරදරයක් නැති මට පහර දුන්නේ ඇයි කියා මම දන්නේ නෑ. මෙහෙම කරන්න මම කළ වරද මොකක්ද? සාධාරණ පරීක්ෂණයක් කරලා මට පහර දුන්නේ ඇයි කියා සොයා බලන්න," යනුවෙන් රෝහලේ සිට මාධ්‍යවේදීන් හමුවේ අජිත් බණ්ඩාර මහතා සිය කනගාටුව පළ කළේය.
සිද්ධිය පිළිබඳ විස්තර කරමින් අජිත් බණ්ඩාර මහතා පැවසූ අන්දමට, සවස 4.30ට පමණ ඔහු නිදා සිටියදී නිවසේ පිටුපසින් ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදි වී ඇත. සාලයෙන් එබී බැලූ විට අසල්වැසි නිවසේ පුද්ගලයකු පිහියක් රැගෙන පැමිණෙනු දුටු ඔහු,
එම පුද්ගලයා විසින් එල්ල කළ පහර වළක්වා ගැනීමට උත්සාහ කර ඇත. මෙහිදී ඔහුගේ අතට තුවාල සිදුව ඇති අතර, පසුව පැමිණි පහරදුන් තැනැත්තාගේ පියා සහ සහෝදරයා ද මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇත.
වැඩිදුරටත් කරුණු දක්වමින් අජිත් බණ්ඩාර මහතා පැවසුවේ, පසුව එම පවුලේ වැඩිමහල් පුත්‍රයා යකඩ කොටසක් රැගෙන පැමිණ ඔහුගේ නිවසේ ජනෙල්වලට හානි කර ඇති බවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයි ඔහු විශ්වාස කරන බව ද පැවසීය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට, අජිත් බණ්ඩාර මහතා සැත්කමකට භාජනය කර ඇති නමුත් ඔහුගේ තුවාල බරපතල තත්ත්වයේ නොපවතී.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරයට, සැකකාර තරුණයා කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුගේ පුත්‍රයකු වන අතර, ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව තහවුරු වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගනිමින් සිටින අතර, මෙම ප්‍රහාරයට හේතුව තවමත් හෙළි වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන හේරත් මහතාගේ මෙහෙයවීම යටතේ, බෝගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දිකා දැල්කදුර මහත්මිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
0 Comments