ashu-marasinghe-video

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආංශුබෝධ මාරසිංහ මහතාගෙන් කප්පම් ඉල්ලීමකට අදාළ අපහාසාත්මක වීඩියෝ පටයක් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම වළකාලමින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශ නිලධාරියකු ඇතුළු සිවුදෙනකුට කොන්දෙසි සහිත වාරණ ආඥාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (06) නිකුත් කළාය.

ආශු මාරසිංහ මහතා නීතිඥ චමින්ද අතුකෝරල මහතා මඟින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ වාරණ ආඥාව නිකුත් කළාය.

2024 අංක 9 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ ආශු මාරසිංහ මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසු මෙම කොන්දේසි සහිත ආඥාව නිකුත් කෙරිණි. විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ ජයන් චානක පතිරණ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විනය පාලක අංශයේ චන්ද්‍රගුප්ත මහානාම, පෞද්ගලික ආපන ශාලාවක හිමිකරුවකු වන නවීන් කනිෂ්ක ප්‍රනාන්දු,

ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක කළමනාකරුවකු වන දුලාජ් විජේකොත් නමැති වගඋත්තරකරුවන්ට ලබන වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසටද මහේස්ත්‍රාත්වර්ය නියෝග කළාය.


පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු දක්වමින් නඩුවට පදනම් වූ වීඩියෝ පටයක තිර උපුටනයක් ඉදිරිපත් කරමින් වගඋත්තරකරුවන් විසින් ද්වේශසහගත ලෙස හා වෛරි සහගත ලෙස අන්තර්ජාලය, මුහුණු පොත සහ වම්සැප් යන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අදාළ ප්‍රකාශ බෙදා හැර ඇතැයි පැවසීය.

අදාළ වීඩියෝ පටය සම්බන්ධයෙන් පැමිණිලිකරු මීට පෙර රහස් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව වනිතා ආදර්ශනී නමැත්තියට එරෙහිව රහස් පොලිසිය මගින් නඩු පවරා ඇති බවත්

කී නීතිඥ චමින්ද අතුකෝරල මහතා එකී වීඩියෝපටය පසුගිය දෙසැම්බර් 14 වැනිදා සිට අන්තර්ජාලය ඔස්සේ නැවත ප්‍රචාරය කරමින් සැකකරුවන් විසින් පැමිණිලිකරුගේ කීර්තියට හානි කරමින් සිටින්නේ යැයි කීය.කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වගඋත්තරකරුවන්ට වාරණ ආඥාවක් හා නොතීසි නිකුත් කරමින් ලබන විසිවැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කළාය.
(රෝෂන් තුෂාර)