
කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 26 වන මහලෙන් රුපියල් ලක්ෂ 30ක වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණක හා ජංගම දුරකතන සොරකම් කර, බිත්තිවල "බැට් මෑන්" ලෙස සටහන් තබා තිබූ අයෙකු කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වයස අවුරුදු 23ක් වන සුඩාන් එරිත්රියා ජාතික සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත්තේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
මෙම පුද්ගලයා ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බදු පදනමින් ගත් කාර්යාලක අධ්‍යක්ෂකවරයෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර එම ස්ථානය ගැන හොඳ අවබෝධයකින් සිටි අයෙකු වූ අතර කැසිනෝ සූදුවට ඇබ්බැහිව සිටි 'බැට්මෑන්' චරිතය වීරත්වයෙන් සැලකූ තරුණ විදේශ ජාතිකයෙකු බවද වාර්තා විය.
පොලිස් වාර්තා අනුව, සිද්ධිය වූයේ පසුගිය 17 වැනිදා අලුයම 1.00ත් 2.00ත් අතර කාලයේදීය. සැකකරු විවෘත දොරෙන් ගොඩනැගිල්ලට ඇතුළු වී, විදුලි සෝපානය භාවිතා කර 26 වන මහලට පැමිණ ඇත. ඔහු යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන කාර්යාල හතරකට ඇතුළු වී සොරකම සිදු කර තිබේ.
ගොඩනැගිල්ලේ සේවා කළමනාකරු විසින් කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය, කාර්යාල බිත්තිවල "බැට් මෑන්" යනුවෙන් ඉංග්‍රීසියෙන් සටහන් කර තිබීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබේ.
පොලිස් විමර්ශනවලදී පරීක්ෂා කරන ලද සීසීටීවී දර්ශනවල, උත්සවයකට සහභාගී වන්නෙකු මෙන් ජැන්ඩියක් හා කැප් තොප්පියක් පැළඳ, මුව ආවරණයක් සහිතව පැමිණි පුද්ගලයෙකු දක්නට ලැබී තිබේ. මෙම පුද්ගලයා යතුරු පුවරුවෙන් යතුරු ලබාගෙන කාර්යාල විවෘත කර, එහි තිබූ උපකරණ බෑගයකට පටවා ගන්නා අයුරු සීසීටීවී දර්ශනවල සටහන්ව තිබිණි.
පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී, පසුගිය වසරක කාලය තුළ එම ස්ථානයේ සේවය කළ හා සේවය හැර ගිය පුද්ගලයන්ගේ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා හා සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර තිබේ. සැකකරුගේ ෆේස්බුක් ගිණුමේ "බැට් මෑන්" චරිතය නිතර දක්නට ලැබීම හා සොරකම සිදුකළ කාර්යාලයේ බිත්තියේ එම නම සටහන් කර තිබීම අතර සම්බන්ධතාවක් හඳුනාගැනීමට පොලීසියට හැකි වී තිබේ.
විමර්ශනවලදී හෙළි වූ පරිදි, සැකකරුගේ පියා මීට වසර කිහිපයකට පෙර 26 වන මහලේ කාර්යාලයක් කුලී පදනම මත ලබාගෙන උපදේශන මධ්‍යස්ථානයක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත. සැකකරු ද එම කාලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කර තිබීම හේතුවෙන් ගොඩනැගිල්ලේ ආරක්ෂක විධිවිධාන හා සියලු ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් අවබෝධයක් ඔහු සතුව තිබී ඇත.
පොලිස් විමර්ශනවලදී සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව, සොරකම් කරන ලද උපකරණ වැල්ලවත්ත, බම්බලපිටිය, පිටකොටුව යන ප්‍රදේශවල වෙළෙඳසැල් කිහිපයකට අඩු මිලට විකුණා තිබී ඇත. ලබාගත් මුදල් සියල්ල කැසිනෝ ක්‍රීඩා සඳහා වැය කර ඇති බව සැකකරු පොලීසියට පවසා තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී, භාවිතා නොකරන ෆේස්බුක් ගිණුමක "බැට් මෑන්" රූප දක්නට ලැබී තිබේ. සැකකරු පවසා ඇත්තේ කුඩා කාලයේ සිටම බැට් මෑන් චරිතයට දැඩි ඇල්මක් දැක්වූ බවත්, එය තම හදවතේ වීරයා බවත්ය. එම හේතුවෙන් සෑම දෙයකටම බැට් මෑන්ගේ රූපය හා නම යොදා ගන්නා බව ඔහු පිළිගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් කුමාර ගලගමගේ හා සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කොටුව පොලීසිය විසින් මෙම විමර්ශන සිදුකර ඇත. සැකකරු අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මෙම සිද්ධිය මගින් පෙන්නුම් කරන්නේ ඉහළ ආරක්ෂිත ගොඩනැගිල්ලක වුවද අභ්‍යන්තර තොරතුරු දන්නා පුද්ගලයන්ගෙන් ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්ය. මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා වඩාත් කාර්යක්ෂම ආරක්ෂක විධිවිධාන අවශ්‍ය බව පොලීසිය අවධාරණය කරයි.

Comments
Post a Comment
Your comment will be visible after approval