නව වසරේ මල්වෙඩි සංදර්ශනයක් නැරඹීමට දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ඊයේ (1) අලුයම කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය කළ දුම්රියක ගැටී මවක් සහ හය හැවිරිදි දරුවකු බරපතළ ලෙස තුවාල ලබා ඇත. තුවාල ලැබූ මව සහ දරුවා බෙන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ පසුවීම නිසා ඔවුන් කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.
ඔවුන්ට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.
මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ ඉහළ මාලවල රන්තොටුවිල පදිංචි එන්.එච්.ඩී. දිසානායක නමැති 39 හැවිරිදි මවක සහ ජී. ඉමේෂ් නමැති හය හැවිරිදි දරුවකු බව බෙන්තොට රෝහලේ නිලධාරියෙක් පැවසීය.
නව වසර ලබන අවස්ථාවේදී බෙන්තොට සංචාරක හෝටල් සංකීර්ණය අසල පැවති මල්වෙඩි සංදර්ශනය නැරඹීමට පැමිණ සිටි මොවුන් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇත.
මෙම අනතුරින් කුඩා දරුවාගේ අතක් වෙන්වී ඇති බවද පොලීසිය කියයි. දරුවා එම මොහොතේදීම බෙන්තොට රෝහලට ගෙනගිය අතර වැළමිට අසලින් වෙන්වී දුම්රිය මාර්ගයේ තිබූ දරුවාගේ අත බෙන්තොට පොලීසියේ නිලධාරියකු විසින් බෙන්තොට රෝහලට භාර දුන් බව ද පොලීසිය පැවසීය.
බෙන්තොට පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම් මහතා ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
( බෙන්තොට - එස්. මද්දෙවිතාන සහ ඌරගස්මංහන්දිය අයි.ජයරත්න)
0 Comments