All-government-digital-payments-via-Govpay-from-this-month

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය විසින් රට පුරා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසන පරිදි, ශ්‍රී ලංකාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 1 සිට 1.5 දක්වා ප්‍රමාණයක් භෞතික මුදල් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු වෙනුවෙන් වැය වෙයි.



එමෙන්ම, මුදල් මත පදනම් වූ ගෙවීම් ක්‍රමය හේතුවෙන් වංචා හා දූෂණ ඉහළ යාමත්, ගනුදෙනු ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාව වැඩි වීමත් සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. මේ නිසා ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍ය ආයතන වෙත සිදුකරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට තීරණය කර ඇත.



දැනට රාජ්‍ය ආයතන 16ක් සම්බන්ධ කර ඇති GOVPAY (ගවුපේ) යෙදුම හරහා මෙම ක්‍රියාවලිය පහසු කරනු ඇත. 2025 ජනවාරි මස වන විට රජයේ සියලු ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට හැකිවන පරිදි තවත් රාජ්‍ය ආයතන මෙම වේදිකාවට එක් කිරීමට නියමිතය.

මෙම නව ක්‍රමය මගින් මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ශ්‍රමික වැය අඩු කිරීම සහ අක්‍රමිකතා හා දූෂණ මැඩලීම යන අරමුණු ඉටු කරගත හැකි බව නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න මහතා අවධාරණය කර සිටී. මීට අමතරව, ඩිජිටල් ගෙවීම් ක්‍රමය මගින් මහජනතාවට වඩාත් පහසු හා විශ්වසනීය සේවාවක් සැපයෙනු ඇත.