බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වාට විශේෂ පහසුකම් සපයන බවට පළවන වාර්තා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටී. මේ සම්බන්ධයෙන් විනිවිදභාවය තහවුරු කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඔහු ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතාගේ ප්‍රකාශයට අනුව, දුමින්ද සිල්වා දැනට බන්ධනාගාර රෝහලේ අංක 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබන අතර, එම වාට්ටුවේම තවත් රැඳවියන් 50කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටිති.
දුමින්ද සිල්වා මුලින් බන්ධනාගාරගත කිරීමේදී, විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයාගේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාදීමට තීරණය කර ඇත. වර්තමානයේදී ඔහු බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පසුවන බව මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කරයි.
ඊයේ දිනයේදී සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් දුමින්ද සිල්වා ඇතුළු ඇතැම් රැඳවියන්ට විශේෂ වරප්‍රසාද ලබාදෙන බවට චෝදනා එල්ල කළද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරන්නේ දුමින්ද සිල්වාට වෙනම වැසිකිළි පහසුකම් හෝ වෙනත් කිසිදු විශේෂ සැලකිල්ලක් ලබා දී නොමැති බවයි.
දුමින්ද සිල්වාගේ තවදුරටත් බන්ධනාගාර රෝහලේ රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් උපදෙස් පතා ඇති අතර, ඒ සඳහා විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇත. එම වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ මත ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
0 Comments