
අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන 'රාණි' අද (ජනවාරි 30) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ. මෙය ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගමගේ එකොළොස්වන වෘත්තාන්ත චිත්‍රපටය වන අතර, 1990 දශකයේ සිදුවූ ප්‍රකට මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ ඝාතනය හා ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව වූ වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ගෙන ගිය සාධාරණත්වය සඳහා වූ අරගලය මුල් කරගනිමින් නිර්මාණය කෙරිණි.
රිචඩ් ද සොයිසා යනු 1990 දශකයේ මුල් භාගයේ මාධ්‍යවේදියෙකු, නළුවෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ ලේඛකයෙකු විය. 1990 පෙබරවාරි 18 වන දින ඔහු පැහැරගෙන යනු ලැබූ අතර, පසුදින (පෙබරවාරි 19) මොරටුව කොරළවැල්ල මුහුදු තීරයෙන් ඔහුගේ මෘත දේහය සොයා ගන්නා ලදී.
රිචඩ් ද සොයිසා ඝාතනය භීෂණ සමයේ රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා කරවන ලද්දක් බවට පවතින සැකය මෙම චිත්‍රපටයේදී අවධාරණය කරයි. ප්‍රේමදාසගේ ගෝලයෝ මහරෑ රත්මලානේ පිහිටි නිවසට සන්නද්ධව රිචඩ්ව පැහැරගන්නට පැමිණෙන්නේ, ඔහු දුන් නියෝග අනුව බව පෙන්නුම් කළද චිත්‍රපටය එක් ජවනිකාවකින් කියා සිටින්නේ සෘජු නියෝගයකින් තොරව මෙම පැහැරගැන්ම හා ඝාතනය සිදු කරන්නට ගෝලයන් යොමු වන්නේ ප්‍රේමදාස රිචඩ් ගැන කේන්තියකින් සිටි නිසා බවයි. කේන්තියට හේතුව ලෙස දක්වන්නේ රිචඩ් ලංකාවේ ඒ දිනවල පැවති සත්‍ය වාතාවරණය විදේශ මාධ්‍ය වෙත වාර්තා කරන්නෙකු නිසාය. ශ්‍රී ලංකාවේ 1988-90 දකුණේ පැවති භීෂණ සමයේ සත්‍ය තොරතුරු රට ඇතුළේ පවා සංසරණය වූයේ ඉතා සීමිතවය.
ඊට ප්‍රධාන හේතුවක් වූයේ රජය මැදිහත්වී තරුණ මර්දනයක් ක්‍රියාත්මක කිරීමය. රජයේ අසාධාරණ අමානුෂික ඝාතන ගැන ප්‍රචාරණය පවා මරණයට හේතුවක් විය.
ඊට මාස කිහිපයකට පෙර ජනතා විමුක්ති පෙරමුණ ඇතිකළ රාජ්‍ය විරෝධී කැරැල්ල මර්දනය කිරීම රජයෙන් සිදුවූයේ ඒ ආකාරයෙනි. ජවිපෙ ක්‍රියාකාරීන් හෝ ක්‍රියාකාරීන් යයි සැකකරන සබඳතා සහිත අය මෙන්ම ඒ මුවාවෙන් පුද්ගලික කොන්තරයට මරාදමන්නට තීරණය වූ අය වෙඩිතබා හෝ ටයර් සෑයවල මත පුළුස්සා මරාදමන කාලයක් විය.
1988-89 කාලයේ තුණ්ඩු කෑල්ලක් ලබාදී ජනතාව බියවද්දමින් ගම් මට්ටමින් නිල නොවන පාලනයක් ගෙන යන්නට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබුණි. සිය අරගලයට විරුද්ධ වන්නන් දේශද්‍රෝහීන් ලෙස නම් කර මරාදැමීමට එම අරගලයේ සටන්කාමී අංශය ලෙස ක්‍රියා කළ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නම් සංවිධානය කටයුතු කර තිබුණි.
මෙම 'තුණ්ඩු කෑලි' තර්ජනය අවසන් කළ රාජ්‍ය මර්දනයේ පියවරක් ලෙස රජය විරෝධාකල්ප පැතිරූ හෝ ඒ සඳහා උත්සාහයන් කළ සැමට මරණය උදාකළ බව ප්රකටය රිචඩ් ද සොයිසාද එහි ගොදුරක් විය.
රිචඩ් 'ද අයිලන්ඩ්' ඉංග්‍රීසි පුවත්පතට රජය විවේචනය කරන ආකාරයේ ලිපි ලියමින් සිටියේය.ඔහු රජයට අයත් රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙසද කටයුතු කළ අතර ඉංග්‍රීසි ප්රවෘත්ති ඉදිරිපත් කරන්නෙකුද විය.
මෙම චිත්‍රපටයේදී රිචඩ් ද සොයිසා කළ කාර්යයන් ගැන පුළුල් විග්රහයක නොයෙදේ. ඒ දිනවල ප්රකටව පැවති තවත් කතාවක් වූයේ රිචඩ් රජයේ මර්දනය වේදිකා නාට්‍යයකට නගන්නට පිටපතක් ලියූ බවත් 'මේ කවුද මොකද කරන්නේ' ලෙසින් නම් කර තිබුණ එම වේදිකා නාට්‍යය එළිදක්වන්නට ආසන්න කාලයේ මෙම ඝාතනය සිදුවූ බවත්ය. හඳගමගේ චිත්‍රපටයේ එම කාරණාව ගැන සඳහන් නොවේ.
චිත්‍රපටයෙන් ඉස්මතු කරන චරිතය රිචඩ් නොව ඔහුගේ මවය. රිචඩ්ගේ මව වන වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු, පුත්‍රයාගේ මරණයෙන් පසු යුක්තිය සඳහා වූ සටනක නිරත වන බව පෙන්නුම් කළද එය චිත්‍රපටයේදී ප්‍රබල බලපෑම්කාරී එකක් ලෙස නිරූපණය නොවේ.
දරු ප්‍රසූති සිදුකරන ප්‍රසව හා නාරිවේද ක්ෂෙත්රයේ ප්‍රවීණයකු වූ මනෝරාණි සරවනමුත්තු නම් වෛද්‍යවරිය ඉංග්‍රීසි පමණක් කථාකරන එකල ඉහළ යයි හැඳින්වෙන සමාජ පන්ති කුලකය නියෝජනය කරන්නියකි. චිත්‍රපටයේ හැටියට ඇය
නිතරම සිගරට් බොන අතර නිතර මත්පැන්ද බොන්නේ ඇතැම් විට නිවසේ මෙහෙකාරයාට මෙන්ම පුතු රිචඩ්ටද එම මොහොතට අඩගසාගෙනය. චිත්‍රපටයේ හැටියට රිචඩ් ද සොයිසා සමරිසි පුද්ගලයෙකු වන අතර මනෝරාණිද ඒ බව දනී.
නිල ඇඳුම් නැති සන්නද්ධ කණ්ඩායමක් පැමිණ තම පුතු පැහැරගන්නට උත්සාහ කරන වෙලාවේ ඇය එයට විරුද්ධවන නමුත් ඒ කාලයේ කවුරුන් විරුද්ධවුවත් එය වැළැක්වීමට අපහසු වනඅයුරු චිත්‍රපටයේ පෙන්වයි. ඉහළ බල කණ්ඩායමේ නියෝජනයක් ලෙස පැමිණි පැහැරගන්නන්ට එරෙහිව 'මං පොලිස් ඔෆිසර්ට කෝල් කරනවා' කියූ ඇයගේ බලවන්තකම සමච්චලයටද ලක්වේ.
ඇගේ සමීප හිතවත්කමක් පැවති ලලිත් ඇතුළත්මුදලි හිටපු ආරක්ෂක ඇමතියාටද මෙම මොහොතේ ඇයට උදව් කරන්නට බැරිව යන බව චිත්‍රපටයේදී පෙන්නුම් කරයි.
ඇය තම පුතු පැහැරගන්නට ආ කණ්ඩායමේ ප්‍රධාන නිලධාරියා පසුව රූපවාහිනියේ ප්රවෘත්ති විකාශයක් අතරතුර ජනපති ප්‍රේමදාස සමග එකට සිටින අයුරු හඳුනාගෙන ඒ ගැන පොලිසියට පැමිණිලි කරන නමුත් එම සාක්ෂිය පොලිසිය යටගහන අයුරුත් ඇයට තර්ජනාත්මක ලිපියක් ඒ සමග ආ නිසා ඇය බියවී ටික කලකට කැනඩාවට පලායන අයුරුත් චිත්‍රපටය පෙන්වයි.
කෙසේ වෙතත් ඒ දිනවල මාධ්‍ය වාර්තා අනුව ඇය එම සාක්ෂිය වෙනුවෙන් උසාවියේද පෙනී සිටින බවක් වාර්තා විය.
චිත්‍රපටයට එය ඇතුළත් නැත.
පසුකාලීනව ඇය නැවත ලංකාවට ආ පසුව ඇය 'මව්වරුන්ගේ පෙරමුණ' නමින් සංවිධානයක් පිහිටුවා, තම පුතුට සමාන ඉරණමකට ගොදුරු වූ අනෙකුත් වින්දිතයන් වෙනුවෙන් ද හඬ නගන්නේ දේශපාලන වශයෙන් විරුද්ධ පක්ෂයට වාසියක් අත්කර දීමටය.
එකල විපක්ෂය ප්‍රතිසංවිධානය කරමින් සිටි මංගල සමරවීර හා මහින්ද රාජපක්ෂ ඇගේ නිවසට පැමිණ මෙම පෙරමුණ පිහිටුවීම ගැන ඇය හා කරන සාකච්ඡාවක්ද චිත්‍රපටයේදී එලිදක්වා ඇත.
ඇගේ සමීප රජයේ දේශපාලනඥයා වන ලලිත් ඇතුලත්මුදලි මෙම කාර්යය දකින්නේ ඇයව විපක්ෂය 'පාවිච්චි' කරනවා ලෙසිනි.
ඒ කාලයේ ප්‍රේමදාසට එරෙහිව රාජාලි පක්ෂය හදාගෙන වෙනත් පැත්තකට යොමුවූ ලලිත් මැරුම් කන අතර මේ නිසාද මනෝරානි සසල වේ. චිත්‍රපටයේ ලලිත් ඝාතනය කොටින් කළ එකක් නොව ප්‍රේමදාසගේ වැඩක් බවට ඉඟියක් සපයයි.
ඒ සමගම සතියක් දෙකක් තුළ ප්‍රේමදාස මහමග බෝම්බයකින් ඝාතනය වන අයුරු රාණි චිත්‍රපටයේ නිරූපණය කරන අතර ඔහුගේ මරණින් පසු රටේ තැනතැන රතිඤ්ඤා පත්තුවන අයුරුද පෙන්වයි.
ප්‍රේමදාසට එල්ලවන බෝම්බයට රිචඩ් පැහැරගත් ඉහළ පොලිස් නිලධාරියාද හසුව ඝාතනය වන අයුරු මනෝරාණි සතුටින් දකියි.
තමන්ට වින කළ පුද්ගලයින්ට සොබාදහම දඩුවම් දී ඇති බව ඇය චිත්‍රපටයේදී කියන්නීය.
මෙම චිත්‍රපටයේ සැකිල්ල තුළ රිචඩ් ද සොයිසා ඝාතනය සම්බන්ධ 1990 දශකයේ මාධ්‍ය වාර්තා වලින් උකහාගත් තොරතුරු බිඳක් ඉදිරිපත්වන අතර කතාව ගැඹුරට ගෙනයන්නට හෝ අලුත් මානයක් මතුකරන්නට උත්සාහ දරා නැත.
මනෝරාණිගේ චරිතයට ප්රබලව පණදෙන ප්‍රවීණ නිළි ස්වර්ණාගේ රංගනය නිසාම කතාව ඇදගෙන යන සෙයක් දිස්වේ. කතාවේ කුතුහලය මතුකිරීම දුර්වල වන බැවින් සත්‍ය කතාව දැනගෙන බලන අයට මිස කතාව නොදන්නා අයට හෝ කතාව ගැන ඉඟියක්වත් දන්නැති අලුත් පරම්පරාවට හෝ කතාව නීරස විය හැකිය.
වාර්තා චිත්‍රපටයක ස්වරූපයෙන් කවුරුත් දන්නා දේවල් නැවත නිරූපණය වන අතරම වාර්තා චිත්‍රපටයක පවතින මුලක් මැදක් අගක් නොඑසේනම් තර්කයක් සහිතව කතාව නිර්මාණය කර නැත.
මනෝරාණිගේ චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනී ස්වර්ණා මල්ලවාරච්චි විසින් නිරූපණය කරන අතර, රිචඩ් ද සොයිසාගේ චරිතය වේදිකා නාට්‍ය ප්‍රවීණයෙකු වන රෙහාන් අමරතුංග ද හිටපු දේශපාලනඥ හා රිචඩ් පවුලට සමීපයෙකුව සිටි ලලිත් ඇතුලත්මුදලිගේ චරිතය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී සනත් ගුණතිලක නිරූපණය කරයි.
චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන චරිත සඳහා සෞම්‍ය ලියනගේ, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, සම්පත් ජයවීර, ගිහාන් ප්‍රනාන්දු, සජිත අනුත්තර, අනුරාධ මල්ලවාරච්චි, මයුර කාංචන, රිතිකා කොඩිතුවක්කු, අනසුයා සුභසිංහ, කිංග් රත්නම් සහ නලීන් ලුසේනා වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් දායක වී සිටිති.
තාක්ෂණික අංශයෙන් ගත් කල, චිත්‍රපටයේ ඡායාරූප අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය විසින් සිදු කර ඇති අතර, සංස්කරණය රවීන්ද්‍ර ගුරුගේ විසින් ද, සංගීත අධ්‍යක්ෂණය රෝහණ වීරසිංහ විසින් ද සිදු කර තිබේ. අංග රචනය හා කේශ අලංකරණය ප්‍රියන්ත දිසානායක විසින් ද, ඇඳුම් නිර්මාණය පියතිස්ස අකුරම්බොඩ විසින් ද, වර්ණ සංයෝජනය දිනිඳු ජාගොඩ විසින් ද, විශේෂ දෘශ්‍ය ප්‍රයෝග චත්‍ර වීරමන් විසින් ද සිදු කර ඇත.
'රාණි' චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා සමාගමක් වන 'Lyca Productions' මගින් (ස්වර්ණවාහිනී ජාලය හිමිකරුගේ) ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තයට එක්වන පළමු නිර්මාණයයි.
_නේමින්ද

0 Comments