![governor-gregorys-granddaughter-requests-that-the-nuwara-eliya-presidential-palace-be-turned-into-a-museum governor-gregorys-granddaughter-requests-that-the-nuwara-eliya-presidential-palace-be-turned-into-a-museum](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEijkGs8VrqOM38xWe4lvNGXG-abiMTqEdPVVtY9hoZyIB9kIp6RQGBcjrV9rtnV9sScuGVLYftNQpW5hjJJ4vPaMEhDIIKe3gGJZtKP0p_FjHYGN6_16v1bIX3ndmuJaxdjtcFh_Of54D09yRfBtm0qYotEp2dKzg7tZbjPqSE_hlKOoBQLiaEnb-Sb4VU/s16000-rw/collage.jpg)
බ්‍රිතාන්‍ය යුගයේ නුවරඑළියේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ සර් විලියම් හෙන්රි ග්‍රෙගරිගේ මිණිබිරිය වන බෙලෙන්ඩා හන්ඩි මහත්මිය, වර්තමානයේ ජනාධිපති මන්දිරය ලෙස භාවිතා වන එම ගොඩනැගිල්ල කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටී.
සිය මුල්ම ශ්‍රී ලංකා සංචාරය අතරතුර නුවරඑළිය ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණි අවස්ථාවේ ඇය මෙම ඉල්ලීම සිදු කළාය. සිය සැමියා වන මායල්ස් හන්ඩි මහතා සමඟ පැමිණි ඇය, එම ගොඩනැගිල්ල තම සීයා විසින් බ්‍රිතාන්‍ය රජයේ අවසරයකින් තොරව ලංකා රජයට බ්‍රිතාන්‍ය පවුම් 1,500කට විකුණා ඇති බව හෙළි කළාය.
"මම තමයි විලියම් ග්‍රෙගරි මහතාගේ මිනිබිරිය. මේක මගේ ශ්‍රී ලංකාවේ නුවරඑළියේ සිදු කරන පළමු සංචාරය.
මම මෙහි පැමිණියේ මගේ සීයා මෙහි ගත කළ පරිසරය දැක ගැනීමටයි. ඔහු මෙම පරිසරයට ඉතා ආදරය කළා," යැයි ඇය පැවසුවාය.
වර්ෂ 1871 සිට 1875 දක්වා කාලය තුළ නුවරඑළියේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සර් විලියම් හෙන්රි ග්‍රෙගරි, අක්කර 125ක භූමි භාගයක පිහිටි මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. බෙලෙන්ඩා හන්ඩි මහත්මිය පවසන පරිදි, මෙම ගොඩනැගිල්ල විකිණීම පිළිබඳව බොහෝ දෙනා එය නිවැරදි තීරණයක් ලෙස අනුමත කර ඇත.
ජනාධිපති මන්දිරය නැරඹීමට අවසර ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට කළ ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ඇය රජයට කෘතඥතාව පළ කළාය. එහිදී නිලධාරීන් විසින් ඔවුන් උණුසුම්ව පිළිගෙන තේ පැන් සංග්‍රහයක් ද පිරිනමා ඇත.
"ශ්‍රී ලංකා රජය විසින් මෙම ගොඩනැගිල්ල ඉතා හොඳින් නඩත්තු කරනවා. මෙය වර්තමානයේ විශාල වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක්. එය සීමාවන්ට යටත්ව කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැන ගැනීමට අවස්ථාව සැලසීම වැදගත්," යැයි ඇය අවධාරණය කළාය.
සිය සංචාරය අතරතුර ඇය තම සීයා විසින් ඉදි කරන ලද ග්‍රෙගරි වැව ද නැරඹීමට ගිය අතර,
එය නගරයේ සුන්දරත්වය වැඩි කරන සුවිශේෂී ස්ථානයක් බව ඇය පැවසුවාය. එමෙන්ම අක්කර 26කින් සමන්විත වික්ටෝරියා උද්‍යානය සහ කෞතුකාගාරය නැරඹීමට ද ඇය පැමිණ සිටියාය.
"එය ඉතාම අලංකාරවත් මෙන්ම දිගු ඉතිහාසයක් ඇති ජායාරූප වැනි වටිනා දේවල්වලින් සමන්විත ස්ථානයක්. සෑම කෙනෙක්ම මෙය නැරඹීමට පැමිණිය යුතුයි," යැයි ඇය පැවසුවාය.
මෙම සංචාරය අතරතුර ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නුවරඑළියේ ශාන්තිපුර ප්‍රදේශයේ ඉදි කළ ඊගල්ස් නැරඹුම් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට ද සහභාගී වූ අතර, එහිදී විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමඟ සුහද පිළිසඳරක ද නිරත වූවාය.
නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගම මහතා සමඟ ද හමු වූ ඇය, කෞතුකාගාරය වඩාත් ක්‍රමවත්ව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
සිය නුවරඑළිය සංචාරය සඳහා දුම්රියෙන් පැමිණි බෙලෙන්ඩා හන්ඩි මහත්මිය සහ ඇගේ සැමියා දැනට ඇල්පයින් හෝටලයේ නවාතැන් ගෙන සිටිති.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglYauxqARg2VuDgA3nHvUXYtdx2WyNhALWebK4xNCZjpUYekfMD2oieScSfhdBHP6OFgiMIYDuOxb27aNgUsrIcCDlyqNs2gPSTZPfsEA42HZz0GF9-mT_0abYmq9Hx_17ThSldO2qL9Og6x96WrHs49l-9x1WYgugryhrVIIHz6Ms3poMGTmcK5ewkpk/s16000-rw/557.jpg)
0 Comments