![elpitiya-peoples-bank-manager-dies-in-car-accident elpitiya-peoples-bank-manager-dies-in-car-accident](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFv9XEmHNIsg9CwdpqvwueyK1j0ZwfdQanDIxdvlGX2isTmdkVnZ_fyQDf8j0qnvMgSgr116juLLE0P8JBVCDK2bCDUV_yVMy4anH5tbvk1sLFBbcgEs4Egw_gXZhYHrGdfxWaqaqtOcHYjkzxHMUbdUUAwb7Ybz7OXl3Gxm5jnZjLsmSsu7D6eBH8f0o/s16000-rw/collage.jpg)
බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලමෙන් මෝටර් රථයක් ඇළට පෙරළීමෙන් මහජන බැංකුවේ ඇල්පිටිය ශාඛාවේ කළමනාකරු අයි.ජී.ඩී.එස්. කුමාර මහතා (44) මියගොස් ඇත. මෙම අවාසනාවන්ත සිදුවීම පසුගිය 26 වැනි දින සිදුව තිබේ.
මියගිය බැංකු කළමනාකරුගේ බිරිඳ වන සුමාලි මදුශානි මුතුකුමාරණ මහත්මිය (44) මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසුවේ, "මගේ මහත්තයා අපිව හොඳින් බලාගත්තා. එයා ගොඩක් හොඳ කෙනෙක්. එයාට යාළුවෝ ගොඩක් හිටියා. එයා ඒ හැම යාළුවකුගේම හැමදේකටම යන කෙනක්. එච්චර හොඳ එයාට මෙහෙම දෙයක් වෙයි කියා මම නම් හීනෙකින්වත් හිතුවේ නෑ" යනුවෙනි.
වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඇය පැවසුවේ, "අපට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දුවයි පුතයි. මගේ මහත්තයා ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකාරවරයා ලෙස සේවය කළා. නාගොඩ පොලීසියෙන් මට දුරකතන ඇමතුමක් දීලා කිව්වා ඔයාගේ මහත්තයාට අනතුරක් වෙලා කියලා. මම ඉක්මනින් නාගොඩ රෝහලට ගියා. ඒ වෙලාවේ මම දැක්කා මගේ සැමියාගේ දේහය ට්‍රොලියක් මත ලේ ගලමින් තිබුණා. සිද්ධිය වුණු දා හවස එයා අපේ පුතාට දුරකතන ඇමතුමක් දීලා කතා කර තිබුණා. මේ මරණය ගැන මට සැකයක් නැහැ. අනතුරකින් වූ මරණයක් බව මම හිතනවා."
මියගිය කුමාර මහතාගේ මාමණ්ඩිය වන තිස්සමහාරාම, ගැමුණුපුර පදිංචි ගාමිණි පුෂ්ප කුමාර මහතා සාක්ෂි දෙමින් කියා සිටියේ, ඔහුගේ වැඩිමල් දියණිය මෙම අභාවප්‍රාප්ත කුමාර මහතා සමඟ විවාහව සිටි බවත්, පවුලේ සාමාජිකයන් පසුගිය සතියේ ඔවුන්ගේ නිවසට පැමිණ යාළුවකුගේ දානයකට සහභාගී වී ආපසු ගිය බවත්ය.
නාගොඩ හදිසි මරණ පරීක්ෂක කේ.එච්. හේමානන්ද මහතා මරණ පරීක්ෂණයේදී අදහස් දක්වමින් පැවසුවේ, "ප්‍රධාන මාර්ගයක් වන බද්දේගම නාගොඩ මාර්ගයේ අඟුරුවල පාලමට ආරක්ෂිත ඇන්දක් සවිකර තිබුණා නම් මෙවැනි අවාසනාවන්ත මරණයක් නොවන්න තිබුණා" යනුවෙනි.
අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ සිටියේ කුමාර මහතා පමණි. බද්දේගම ගනේගම උතුර පදිංචි ඔහු, මහජන බැංකුව තල්ගස්වල ශාඛාවේ රාජකාරි කටයුත්තක නියැළී සිට සිය මෝටර් රථයෙන් නිවෙස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
කුමාර මහතා කලක් මහජන බැංකුවේ විදේශීය නියෝජිතයකු ලෙස සේවය කර මෑතකදී මෙරටට පැමිණ ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු ලෙස කටයුතු කළේය. ඔහු නිහතමානී, මිත්‍රශීලී බැංකු නිලධාරියෙකු ලෙස ප්‍රකට වූ අතර, බැංකු ක්ෂේත්‍රයේ දක්ෂ නිලධාරියෙකු ලෙස නමක් දිනා සිටියේය.
කරාපිටිය ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය ශෂිණි නිරුදිකා මහත්මිය විසින් සිදුකරන ලද අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු, පෙණහලු කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස නියම කරමින්, මෙය දියේ ගිලීමෙන් වූ මරණයක් ලෙස තීරණය කෙරිණි.
නාගොඩ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන, පොලිස් සැරයන් වසන්තලාල්, පොලිස් සැරයන් (11622) කුලතුංග නිලධාරීහු පරීක්ෂණ පැවැත්වූහ.
මියගිය කුමාර මහතාගේ අවසන් කටයුතු මිරිස්වත්ත, ඇත්කඳුර පවුලේ සුසාන භූමියේදී 28 වැනි දින පස්වරුවේ සිදු කෙරිණි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhs5Y_px3F6H-ITLKVa85cIha7e18-NcpdlRYnlZ1HpqHLiaObKUUm-NI3eOZ_dHlFYDyHmeutrc8OaIRy6y-c50zmQJmLH1F1dzVmjbKSa4dH6x7RWaWGd88OwCYejgzxHHSEdv9lUsQvYBLK_YJxjknzbCMoyVnqYlcyso7RkN_ACKBrczvb4mmai9eI/s16000-rw/4.jpg)
0 Comments