New-research-reveals-that-sweetened-drinks-exacerbate-diabetes-and-heart-disease

සීනි මිශ්‍රිත පාන භාවිතය හේතුවෙන් වසරකට 330,000කට අධික පිරිසක් දියවැඩියාව හා හෘද රෝග නිසා මිය යන බව Nature Medicine සඟරාවේ පළ වූ නව පර්යේෂණයකින් හෙළි වී තිබේ. මෙය හදිසි පියවර ගත යුතු මහජන සෞඛ්‍ය අර්බුදයක් බව අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ ආහාර වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ හෘද රෝග විශේෂඥ ආචාර්ය දරීෂ් මොසාෆරියන් පවසයි.





රටවල් 184ක දත්ත ඇසුරින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව, ලතින් ඇමරිකාව හා කැරිබියානු කලාපයේ පැණි බීම හා සම්බන්ධ හෘද රෝග වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත. උප සහරා අප්‍රිකානු කලාපයේ පැණි බීම හේතුවෙන් type 2 දියවැඩියා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල උසස් අධ්‍යාපනය ලැබූ තරුණ පිරිමි වැඩිහිටියන් මෙම තත්ත්වයෙන් වැඩි බලපෑමකට ලක්ව ඇති බව පෝෂණවේදී ටෝබි ස්මිත්සන් පෙන්වා දෙයි.

පෝෂණ වටිනාකමක් නොමැති "හිස් කැලරි" බහුල මෙම පාන වර්ග ශරීරයේ රුධිර සීනි මට්ටම ක්ෂණිකව ඉහළ නංවයි. ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණ වසංගත විද්‍යාඥ සුසානේ ජන්සි පවසන පරිදි, ද්‍රව සීනි ආහාර ජීර්ණ පද්ධතියේදී ඉතා වේගයෙන් අවශෝෂණය වන අතර,

එය ඝන ආහාරවල ඇති සීනි වලට වඩා අහිතකර වේ.

කෘතිම රසකාරක සහිත පාන කෙටිකාලීන විසඳුමක් විය හැකි නමුත්, ඒවාද සෞඛ්‍යයට යම් තරමක හානිකර විය හැකි බව පර්යේෂකයෝ අනතුරු අඟවති. ඒ වෙනුවට සෝඩා වතුර, සීනි නොදැමූ තේ හෝ කෝපි, හෝ සාමාන්‍ය පානීය ජලය භාවිතා කිරීමට විශේෂඥයෝ නිර්දේශ කරති. ජලයට දෙහි එකතු කර රසවත් කරගත හැකි අතර, අමතර සීනි නොදැමූ සෝඩා වතුර ද විකල්පයක් ලෙස යෝජනා කෙරේ.

රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම, ශරීර උෂ්ණත්වය හා ආහාර ජීර්ණය නිසි ලෙස පවත්වාගැනීම සඳහා ප්‍රමාණවත් ජල පරිභෝජනය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය විශේෂඥයෝ අවධාරණය කරති.