pakistani-man-seriously-injured-after-entering-lions-cage-for-tiktok-video

පාකිස්තානයේ පන්ජාබ් පළාතේ සිංහයන් ඇති කරන ගොවිපළක සිදු වූ අවාසනාවන්ත සිදුවීමකදී, ටික්ටොක් වීඩියෝවක් සඳහා සිංහ කූඩුවට ඇතුළු වූ තරුණයෙකු දරුණු ලෙස තුවාල ලැබීය.

ට්‍රිබියුන් එක්ස්ප්‍රස් නිව්ස් පුවත්පතේ වාර්තා වූ පරිදි, 2025 ජනවාරි 22 වන දින,  මුහම්මද් අසීම් නමැති  විසි හැවිරිදි වියේ පසුවන තරුණයෙකුට මෙම අකරතැබ්බය සිදුවිය. ලාහෝර් නගරයේ පිහිටි මෙම ගොවිපළේ සිංහ කූඩුව තුළට පිවිස ජංගම දුරකථනය අතැතිව සිංහයාට ළං වීමට උත්සාහ කර ඇත.



කෙසේ වෙතත්, සිංහයා ඔහු වෙත පැන ඔහුගේ මුහුණ, උරහිස සහ අත්වලට සීරුම් තුවාල සිදු කර තිබේ. ගොවිපළ හිමිකරු වහාම ක්‍රියාත්මක වී ඔහු බේරාගෙන ආසන්නයේ පිහිටි ජින්නා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, දැනට එහි ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිදුවීමෙන් පසු පන්ජාබ් වනජීවී දෙපාර්තමේන්තුව ගොවිපළ හිමිකරුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට නියෝග කර ඇත. වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා ඇත්තේ ගොවිපළ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති අතර, ගොවිපළේ බලපත්‍රය අවලංගු කිරීමට උපදෙස් දී ඇති බවයි.

පාකිස්තානයේ ධනවත් ව්‍යාපාරිකයන් පෞද්ගලික සත්වෝද්‍යාන පවත්වාගෙන යාම සහ ඇතැම් විට මහජනයා වෙනුවෙන් මෙම සතුන් ප්‍රදර්ශනය කිරීම සුලභ දර්ශනයකි.

මෙම සිදුවීම වාර්තා වන්නේ පන්ජාබ් රජය සිංහයන් සහ කොටියන් වැනි වන සතුන් හිමිකාරීත්වය සහ කළමනාකරණය නියාමනය කිරීම සඳහා 1974 වනජීවී පනතට සංශෝධන සිදු කර සතියකට පමණ පසුවය. මෙම සංශෝධනවලට නාගරික ප්‍රදේශවල මෙවැනි සතුන් තබා ගැනීම තහනම් කිරීම සහ වන සතුන් සමඟ ටික්ටොක් හෝ වෙනත් වීඩියෝ සෑදීම තහනම් කිරීම ඇතුළත් වේ.

වනජීවී ආරක්ෂණ නීති උල්ලංඝනය කරන්නන්ට පාකිස්තාන රුපියල් ලක්ෂ 5 ක් (ශ්‍රී ලංකා රුපියල් 535000 ක්) දක්වා දඩ මුදල් නියම කෙරේ.

පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුවේනව නීතිය සිංහයන්, චීතාන්, කොටියන්, පුමාවන් සහ ජගුවාර් යන විශාල බළලුන් වර්ග පහ ආවරණය කරයි.


සර්පයන් සහ දුර්ලභ පක්ෂීන් වැනි වන සහ විදේශීය සතුන් පාකිස්තානයේ පොහොසත් පුද්ගලයන් විසින් සුරතල් සතුන් ලෙස තබා ගනු ලබන්නේ බොහෝ දෙනා එය බලය සහ ධනය පිළිබිඹු කරන සංකේතයක් ලෙස දකින බැවිනි. මේවා සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකාව වැනි රටවලින් ආනයනය කරනු ලබන නමුත් සත්ව ආරක්ෂාව සහ සත්ව කෲරත්වය පිළිබඳ ගැටලු මතුකිරීමටද හේතු වී තිබේ.
රටේ සමාජ මාධ්‍ය භාවිතය ඉහළ යාමත් සමඟ අනුගාමිකයන් වැඩි කර ගැනීමේ තරඟයක් තුළ සුරතල් සතුන් සමග ගන්නා වීඩියෝ ප්‍රවණතාව වැඩි වී ඇති බව වාර්තා විය.