නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ සිදුවූ සිද්ධියක් මේ දිනවල මහත් කතාබහට ලක්ව තිබේ. රුසියාවේ හිටපු ශ්‍රී ලාංකික තානාපති උදයංග වීරතුංග මහතා සිය අසල්වැසියෙකුට නහය කැඩෙන්නට පහරදීම සම්බන්ධයෙන් ජනවාරි 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සිද්ධිය වූයේ ජනවාරි 9 වැනි දිනයි. කනත්ත පාරේ පිහිටි නිවාස දෙකක් අතර මායිම් බිත්තියක් සම්බන්ධව ඇතිවූ ආරවුලක් මුල්කරගෙන මෙම ගැටුම ඇතිවී තිබේ. වීරතුංග මහතා සහ ඔහුගේ අසල්වැසි නිවසේ පදිංචි විශ්‍රාමික ලියනගේ සරත් චන්ද්‍රසිරි මහතා අතර මෙම ගැටුම ඇතිව ඇත්තේ නිවාස දෙක වෙන්කරන තාප්පය තවදුරටත් ඉහළට ඉදිකිරීමට යාමක් හා එම අසල්වාසී නිවසේ වහලෙන් වතුර අනෙක් ඉඩමට වැටීම වළක්වා නැති බව දක්වමිනි.
ඇතිවූ වාග් සංග්‍රාමය අතරතුර වීරතුංග මහතා ප්ලාස්ටික් පයිප්පයකින් චන්ද්‍රසිරි මහතාට පහර දී ඇත. මෙම පහරදීමේ ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රසිරි මහතාගේ මුහුණේ දරුණු තුවාල සිදුවී ඇති අතර, නාසය කැඩී ගොස් ඇත. රෝහල් වාර්තා අනුව ඔහුට මැහුම් පහක් දැමීමට සිදුව ඇත. මෙම සිද්ධිය නිවසේ සිටි අය විසින් වීඩියෝ පටිගත කර ඇත.
නිරායුදව වචනයක් හෝ කථා නොකර බැල්කනියේ දුරකථනය අතේ තියාගෙන සිටි වයෝවෘද්ධ පුද්ගලයාට පහරදෙන උදයංග පහරදීමෙන් පසු තමන් වසර ගණනාවක් හිරේ සිටි අයෙකු බවත් තමාට මේ ගැන ක්‍රියාමාර්ග ගත්තත් ගැටලුවක් නැති බවත් සිද්ධිය වීඩියෝ කරමින් සිටි වයෝවෘද්ධ පුද්ගලයාගේ පවුලේ අයට ඇසෙන සේ කියනු පටිගතවී තිබෙයි.
සිද්ධියෙන් දවසකට පසු උදයංග අත්අඩංගුවට පත්වන අතර ඊට පෙර මුදාහළ වීඩියෝවකින් උදයංග පවසන්නේ අසල්වාසීන් තමන්ව වීඩියෝ කරමින් සිටි නිසා පහරදුන් කතාවකි.
9 වනදා සිදුවූ සිද්ධියෙන් පසු දෙපාර්ශවයම මිරිහාන පොලීසියට පැමිණිලි කරන ලද අතර අසල්වාසීන් පැමිණිල්ල සමග අදාළ වීඩියෝ පටද පොලිසියට ඉදිරිපත් කරන ලදි. චන්ද්‍රසිරි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලීසිය විසින් ඔහුගේ ප්‍රකාශය සටහන් කරගෙන තිබුණි.
පසුව ඊට පසුදා ජනවාරි 10 වැනි දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අධිකරණයේදී වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර ශ්‍රී මංචනායක මහතා, මෙම චෝදනා සමථ මණ්ඩලයට යොමුකර සමථයකට පත්කළ හැකි බව පෙන්වා දෙමින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සැකකරු විදේශගත වීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් අතිරේක මහේස්ත්‍රාත් සංජය මෙන්ඩිස් විජේසිංහ මහතා එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.
බන්ධනාගාර බස් රථයට නැග යද්දී පවසන්නේ තමා සතියක් තුළ ඇප නොලැබූවොත් ලංකාවට එන ගුවන්යානා වලට තෙල් ගහන්න විදිහක් නැතිවී යනු ඇති බවයි. එම ප්‍රකාශය කවර අරමුණකින් කීවාදැයි පැහැදිලි නැති අතර උසාවියේදී ඇප ඉල්ලද්දී ඔහුගේ නීතීඥයා හෝ එවැනි දෙයක් සඳහන් කර නැත.
මෙම සිද්ධිය සමාජ මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේ වීරතුංග මහතා විසින් පහරදීමට පෙර "මං අවුරුදු ගණං හිරේ හිටිය මනුස්සයෙක්" යැයි පවසමින් තර්ජනය කර ඇති බව පැවසෙන නිසාය. මෙම ප්‍රකාශය සහිත වීඩියෝ පටය සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් ව්‍යාප්ත විය.
මෙම සිද්ධියෙන් පැහැදිලි වන්නේ සාමාන්‍ය පුරවැසියන් අතර ඇතිවන සුළු ආරවුල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම තුළින් ඒවා බරපතල ගැටුම් බවට පත්විය හැකි බවයි. විශේෂයෙන්ම සමාජයේ ඉහළ තනතුරු දැරූ පුද්ගලයන් පවා මෙවැනි ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමුවීම කනගාටුදායක තත්ත්වයකි.
උදයංග වීරතුංග යනු හිටපු ජනපතිවරුන් වන මහින්ද ගෝඨා යන අයගේ පුංචිඅම්මාගේ පුතාය.
වීඩියෝව පහතින්
0 Comments