President-Bidens-presentation-of-civilian-awards-to-supporters-before-his-departure-draws-criticism

ජනාධිපති ජෝ බයිඩන් විසින් ඩිමොක්‍රටික් පක්ෂයේ දානපති ජෝර්ජ් සොරොස් හා හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඇතුළු පුද්ගලයින් 19 දෙනෙකුට ජනාධිපති නිදහස් පදක්කම පිරිනැමීම දැඩි විවේචනයට ලක්ව තිබේ.

සෙනසුරාදා (04) ධවල මන්දිරයේ පැවති උත්සවයේදී වයස අවුරුදු 94ක් වන සොරොස් වෙනුවෙන් එම සම්මානය ඔහුගේ පුත් ඇලෙක්ස් සොරොස් විසින් භාර ගන්නා ලදී. මෙම අවස්ථාවට U2 සංගීත කණ්ඩායමේ නායක බොනෝ, නළු ඩෙන්සල් වොෂිංටන්, ක්‍රීඩක ලයනල් මෙස්සි, නර්තන ශිල්පී මැජික් ජොන්සන් සහ වොග් සඟරාවේ ප්‍රධාන කතෘ ඇනා වින්ටර් ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින් රැසක් සහභාගී විය.



සොරොස් සම්මානයට පාත්‍ර වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් මොන්ටානා සෙනෙට් සභික ටිම් ෂීහි පවසා ඇත්තේ සොරොස් විසින් අපරාධකරුවන්ට මෘදු ලෙස සැලකීමට කැමති දේශපාලනඥයින් තේරී පත්වීම සඳහා මිලියන ගණනක් වැය කර ඇති බවයි. එමෙන්ම හිලරි ක්ලින්ටන් ලිබියාවේදී නාවික සීල් භටයින් අතහැර දැමූ බවද ඔහු චෝදනා කරයි.

බිලියන 7කට වැඩි වත්කම් හිමි සොරොස්, දශක ගණනාවක් තිස්සේ 'පොලිසිය අරමුදල් කප්පාදුව' වැනි වාමාංශික ව්‍යාපාර සහ Black Lives Matter වැනි කණ්ඩායම් සඳහා මූල්‍යාධාර සපයා ඇත. ඔහු ඔපන් සොසයිටි පදනම හරහා ලෝකය පුරා ප්‍රගතිශීලී ව්‍යාපෘති රැසකට අරමුදල් සපයන අතර, ප්‍රධාන අමෙරිකානු නගරවල වාමාංශික දිස්ත්‍රික් නීතිඥවරුන් පත් කිරීම සඳහාද විශාල ආයෝජන සිදු කර තිබේ.



හිලරි ක්ලින්ටන්,  ඔබාමා පාලන සමයේ පුද්ගලික ඊමේල් සේවාදායකයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් FBI පරීක්ෂණයකට ලක්වූ නමුත් කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබුවේ නැත.

උත්සවයට සහභාගී වූවන් අතර ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන්ද විය. බදු වංචා චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු පියාගෙන් සමාව ලැබූ ඔහු මාධ්‍යවල ප්‍රශ්නවලට පිළිතුරු දීමෙන් වැළකී සිටියේය.

ජනාධිපති නිදහස් පදක්කම යනු "එක්සත් ජනපදයේ සමෘද්ධිය, වටිනාකම් හෝ ආරක්ෂාව, ලෝක සාමය, හෝ වෙනත් සැලකිය යුතු සමාජීය, පෞද්ගලික හෝ පොදු ක්‍රියාමාර්ග සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ" පුද්ගලයින්ට පිරිනැමෙන සම්මානයකි.