යාපනයේ මිරිසුවිල්හි සිදු වූ ළමුන් තිදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් අටදෙනෙකුගේ ඝාතන සිද්ධියට සම්බන්ධව මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු යුද හමුදා නිලධාරී සුනිල් රත්නායකට ලබා දුන් ජනාධිපති සමාවට අදාළ ලිපිගොනු හතරක් පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) දින තීරණය කළේය.
මෙම තීරණය ගනු ලැබුවේ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. එම තීරණය ගැනීමට හේතු වූයේ ඝාතනයට ලක් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සිවිල් සංවිධාන විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හයකි.
2000 වසරේ දෙසැම්බර් මාසයේදී සිදු වූ මෙම සිද්ධියේදී කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු දෙමළ ජාතික සිවිල් වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා 19ක් සම්බන්ධයෙන් සුනිල් රත්නායක ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකුට එරෙහිව නඩු පැවරුණි.
වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2017 දී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් රත්නායකගේ අභියාචනය නිෂ්ප්‍රභ කිරීමෙන් පසුව, 2020 මාර්තු 26 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපති සමාව පිරිනමන ලදී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන ජෙෆ් අලගරත්නම්, එම්.ඒ. සුමන්තිරන් සහ නීතිඥ පුලස්ති හේවාමාන්ත යන මහත්වරු පෙන්වා දුන්නේ මෙම ජනාධිපති සමාව පිරිනැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති නිසි ක්‍රියාවලියට පටහැනි බවයි.
ඔවුන් විශේෂයෙන් අවධාරණය කළේ:
1. නීතිපතිවරයා විසින් සමාව දීමට සුවිශේෂී හේතු නොමැති බවට නිර්දේශ කර තිබීම
2. දඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ නිර්දේශය නොසලකා හැර තිබීම
3. එවකට සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් නිසි ක්‍රියාවලියට පටහැනිව සමාව දීමට නිර්දේශ කර තිබීම
මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන ගිය අදාළ ලිපිගොනු හතර සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට තීරණය කළේය. අධිකරණය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්රාර්වරයාට උපදෙස් දුන්නේ අවශ්‍ය පරිදි පෙත්සම්කරු සහ වගඋත්තරකරු යන දෙපාර්ශවයටම එම ලිපිගොනුවල පිටපත් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, සුනිල් රත්නායක, ජනාධිපති ලේකම්වරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා යන අය නම් කර ඇත.
පෙත්සම්කරුවන් අතර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජික අම්බිකා සත්කුරුනාදන් සහ සිවිල් ක්‍රියාකාරීන් වන රුවන් ජයකොඩි, රුක්ෂාන් ප්‍රනාන්දු හා කවිද්යා තෝමස් යන අය සිටිති.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේදී මෙම ලිපිගොනු පරීක්ෂාව තීරණාත්මක සාධකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
0 Comments