මිය ගිය විෂ්මි දුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වුණා. රැකියා කිහිපයකට අයදුම් පත්‍ර යොමු කරලා රැකියාවක් ලැඛෙන තුරු පොල්ගහවෙල ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයකට ගියා. ගුරුගොඩ ඔයට ජායාරූප ගන්න යනවා කියලා ගිහිල්ලා මගේ දුවලා දෙන්නාම දැන් ජීවතුන් අතර නෑ. ඇයි මට මෙහෙම දුක් අත් වුණේ. කිසිම අම්මා කෙනෙකුට මෙහෙම දුක් අත් වෙන්න එපා” යැයි මොරොන්තොට ගුරුගොඩ ඔයේ වළකට වැටී කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය තරුණියගේ මව වන 49 හැවිරිදි ගොඩයලාගේ ලලිතා චන්ද්‍රකාන්ති නමැති නිදරු මව හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි ලබා දෙමින් පෙරේදා (04) පැවසුවාය.


මෙලෙස මිය ගොස් තිබුණේ කෑගල්ල මොරොන්තොට, හපුවිට පල්ලේගම, අංක 445 ලිපිනයේ පදිංචිව සිටි 22 හැවිරිදි කන්දේ දුරයලාගේ විෂ්මි නිමේෂා කුමාරි නමැති තරුණියකි.මිය ගොස් ඇති තරුණියගේ බාල සහෝදරිය වන විෂ්මි නිමේෂා කුමාරි නමැති පාසල් ශිෂ්‍යයාවගේ 15 වැනි උපන් දිනය ඉකුත් දෙසැම්බර් 29 වැනිදාට යෙදී තිබුණි.

පසුව විස්මි නිමේෂා ශිෂ්‍යයාව උපන් දිනය සැමරීමට තම පංතියේ ඉගනුම ලබන වතුර කෙටලදෙණියේ පදිංචිව සිටි උපාසක රාළලාගේ සදලි ගිතාංජලී කුමාරි, හපුවිට පල්ලේගම පදිංචිව සිටින කන්දේ දුරයලාගේ දෙව්ම් ප්‍රහර්ශා විජේවර්ධන අලපලාවල නිලපලාගම්මන පදිංචිව සිටින ඕෂදී නමැති මිතුරියන්ට ආරාධනා කර තිබුණි.


පසුව ඔවුන් තිදෙනා විස්මි නිමේෂාගේ නිවසට ඉකුත් 29 වැනිදා පෙරවරුවේ පැමිණ තිබුණි. වැඩිමහල් සහෝදරිය විසින් ගෙනත් තිබුණු උපන් දින කේක් ගෙඩිය මිතුරින් පවුලේ සැම එක්ව කපා උපන් දිනය සමරා දහවල් කෑම කා නිවසේ සිට මීටර් 500 ක් පමණ ඈතින් පිහිටි ගුරුගොඩ ඔයේ සෙල්ෆි ජායාරූප ගැනීමට යන බව පවසා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගුරුගොඩ ඔයට ගොස් දිය නාමින් සිටිය දී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ඇතුළු 22 හැවිරිදි තරුණිය ද ඉකුත් 29 වැනිදා අතුරුදන්ව තිබුණි. පසුව අසල්වැසියන් විසින් පාසල් ශිෂ්‍යයාවන් දෙදෙනා හා තරුණිය ගොඩට ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. ඇතුළත් කරන අවස්ථාවේ දී වතුර කෙටල දෙණියේ පදිංචිව සිටි උපාසක රාළලාගේ සඳලි ගිතාංජලී කුමාරි මිය ගොස් තිබුණි. දිනිති විමාෂා වීරසිංහ හා ඇගේ 22 හැවිරිදි වැඩිමහල් සහෝදරිය දෙදෙනා කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 31 වැනිදා නංගි වන දිනිති විමාෂා වීරසිංහ ශිෂ්‍යයාව ද මිය ගියාය. 22 හැවිරිදි තරුණිය වන කන්දේ දුරයලාගේ විස්මි නිමේෂා කුමාරි ඉකුත් 03 වැනිදා සවස මිය ගියාය.මිය ගිය 22 හැවිරිදි තරුණියගේ හදිසි මරණ පරීක්ෂණය පෙරේදා (04) කෑගල්ල හදිසි මරණ පරික්ෂිතා රේණුකා සුබෝධනි කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ දී සිදු කෙරිණ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ මව වන ගොඩයලාගේ ලලිතා මල්කාන්ති නමැති තිදරු මව මෙසේද පැවසුවාය.මිය ගොස් සිටින්නේ මගේ ලොකු දුවයි. මගේ සැමියා කන්දේ දුරයලාගේ වීරසිංහ පත්ම කුමාරයි. සැමියා යුද හමුදාවේ කොළඹ ඔරුගොඩ වත්තේ සේවය කරනවා. දෙවැනි පුතා ආකාෂ් නෙරංජන් කුමාරයි.

පුතා මොරොන්තොට කඩයක වැඩ කරනවා. තෙවැනි දියණිය දිනිති විමාෂා කුමාරි කෙහෙල් වත්ත මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටියා. මම රැකියාවක් කරන්නේ නෑ. දරුවන්ගේ වැඩ කරමින් ගෙදරට වෙලා සිටිනවා.


බාල දිනිති විමාෂා කුමාරි දියණියගේ 15 වැනි උපත් දිනය දෙසැම්බර් 29 වැනිදා. උපන් දිනය සමරන්ත එයාගේ පංතියේ යහළුවන් කීප දෙනෙකුට ආරාධනා කරලා තියෙනවා. මිය ගිය ලොකු දුව වැඩට ගිහිල්ලා එන කොට කේක් එකක් 28 වැනිදා ගෙනත් තිබුණා.29 වැනිදා උදේ අපේ ගෙදරට දිනිති දුවගේ මිතුරියන් තිදෙනෙකුයි එක් මිතුරියකගේ මල්ලී කෙනෙක් කියලා පොඩි පිරිමි ළමයෙකුත් ඇවිල්ලා සිටියා. පස්සේ දිනිති දුව මිය ගිය අක්කත් යහළුවන් සමග කේක් එක කපලා උපන් දිනය සැමරුවා. මම ඒ දරුවන්ට තේ හදලා දුන්නා. පස්සේ දවල්ට කෑමත් මම දුන්නා


වතුරේ කෙටලදෙණියේ ඉඳලා ඇවිල්ලා හිටිය සඳලි ගිතාංජලී කුමාරි දුව කියලා තියෙනවා ගුරුගොඩ ඔයට සෙල්ෆි ඡායාරූප ගන්න යමු කියලා. පස්සේ මම යන්න එපා කියලා කිව්වා. මිය ගිය ලොකු දුව කිව්වා අම්මේ මමත් යන්නම් මේ නංගිලා බලා ගන්න කියලා කිව්වා.එතකොට බය වෙන්න දෙයක් නෑ කියලා විස්මි නිමේෂා දුව කිව්වා ඊට පස්සේ මම යන්න කියලා කිව්වා. මේ දරුවන්ට කාටවත් ඔයේ පීනන්න බැහැ. ඡායාරූප ගන්න කියලා ගියාට වතුර සිටි කෙටලදෙණියේ පදිංචිව සඳලි ගිතාංජලී දුවයි මගේ දිනිති දුවයි තවත් දුවෙකුයි ඔයට බැහැලා අත් අල්ලාගෙන ඔයේ ගිහිල්ලා තියෙනවා. මගේ ලොකු දුවයි තවත් දුවෙකුයි අර ඇවිල්ලා හිටපු අවුරුදු 08 ක පිරිමි දරුවයි ගොඩ ඉඳලා තියෙනවා.




පස්සේ සඳලි ගිතාංජලී දුව ඔයේ වළකට වැටිලා තියෙනවා. ඒ දුව බේරා ගන්න. ළඟ හිටපු මගේ පොඩි දුව දිනිති පැනලා තියෙනවා. පස්සේ ගොඩ හිටපු ලොකු දුව කෑ ගහලා එයත් ගිහිල්ලා ගිලුණ දෙදෙනා බේරා ගැනීමට වළට පැනලා අතුරුදන්ව තිබෙනවා.පස්සේ ගමේ පිරිසක් ඇවිල්ලා ඔයට බැහැලා මගේ පොඩි දුවයි ලොකු දුවයි අරගෙන කෑගල්ල මහ රෝහලට අරගෙන ඇවිල්ලා තියෙනවා. පස්සේ ගමේ පිරිමි දරුවෝ කිහිප දෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා ඔයට ගිය දුවලා ගහගෙන ගිහිල්ලා කියලා කිව්වා. පස්සේ මම ගුරුගොඩ ඔයට ගියා. යන කොට මට ගමේ කට්ටිය කිව්වා ඔයාගේ දුවලා දෙන්නා කෑගල්ල මහ රෝහලට රැගෙන ගියා අමාරුයි ඒ දෙන්නට කෑගල්ල මහ රෝහලට යන්න කියලා. ඒ වෙන කොට සඳලි ගිතාංජලී දුව ඔයේ සොයනවා මම දැක්කා. පස්සේ මම කෑගල්ල මහ රෝහලට ගියා.


ගියාට පස්සේ දුවලා දෙන්නා මුලින්ම මට පෙන්නුවේ නෑ. පස්සේ දැඩි සත්කාර ඒකකයට දාලා ඉන්න කොට පෙන්නුවා. අමාරුයි කියලා වෛද්‍යවරු කිව්වා. එහෙම ඉත්ත කොට ඔයේ අතුරුදන්ව සිටි සදලි ගීතාංජලී දුවත් අරගෙන කට්ටිය ආවා. ඒ දුව ඒ වෙන කොට මිය ගිහිල්ලා තිබුණා. දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මගේ 15 හැවිරිදි බාල දුව දිනිති විමාෂා 31 වැනිදා මිය ගියා ලොකු දුව විස්මි නිමේෂා දුව 03 වැනිදා මිය ගියා, මට මේ මරණය ගැන සැකයක් නෑ දියේ ගිලී මිය යන්න ඇතැයි මම විශ්වාස කර සිටිනවා යැයි ලලිතා චන්ද්‍රකාන්ති පැවසුවාය.


එහිදී මිය ගිය තරුණියගේ පියා වන 52 හැවිරිදි කන්දේ දුරයලාගේ වීරසිංහ පත්ම කුමාර මහතා සාක්කි ලබා දුන්හ.මිය ගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (04) කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය නෙරංජා උදය කුමාරි මහත්මිය සිදු කළාය. ලබා දුන් සාක්කි හා වෛද්‍ය වාර්තාව අනුව දියේ ගිලි සිදු වු හදිසි මරණයක් බවට කෑගල්ල හදිසි මරණ පරික්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය තීන්දු කළාය.කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් තිලක් ආනන්ද (48691) මහතා විමර්ශන කටයුතු සිදු කළේය.
(චමින්ද වැවතැන්න)