three-killed-in-shooting-at-hotel-disara

ගාල්ල, හිනිදුම, මහාබෝධිවත්ත ප්‍රදේශයේ පිහිටි 'හොටෙල් දිසාරා' නමැති කුඩා හෝටලයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලීසිය වාර්තා කරයි. ඊයේ ජනවාරි 30 වන දින රාත්‍රී 11:15ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් T-56 වර්ගයේ ගිනි අවියක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත.

මියගිය පුද්ගලයින් අතර නවාතැන් පොළේ අයිතිකරු වන වයස අවුරුදු 55ක් වූ මහාබෝධිවත්ත,

පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මෙන්ම බටපොල නාමල් සෙවණ හා හිනිදුම උතුර නැවතිමුල්ල ප්‍රදේශවල පදිංචි වයස් පිළිවෙලින් 29 සහ 34 වූ තවත් පුද්ගලයින් දෙදෙනෙක් සිටිති. මියගිය අනෙක් පුද්ගලයින් හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු විවාහක පුද්ගලයින් බව පොලීසිය තහවුරු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසූ පරිදි, සිද්ධිය වූ අවස්ථාවේ එම ස්ථානයේ පුද්ගලයින් පස්දෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇත. ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලා යාමට සමත් වී ඇති අතර, අනෙක් තිදෙනා එම ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.

ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වාර්තා අනුව, සිද්ධිය සිදු වූ ස්ථානය කලක් හෝටලයක් ලෙස භාවිතා කර පසුව අත්හැර දමා තිබූ ගොඩනැගිල්ලකි.

පොලිස් පරීක්ෂණවලදී සිද්ධිය වූ ස්ථානයෙන් හිස් උණ්ඩ කොපු 14ක් පමණ සොයාගෙන ඇති අතර, මෙම ඝාතන මුදල් ආරවුලක් හේතුවෙන් සිදු වී ඇති බවට පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිනිදුම පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයින්ගෙන් ඒ පිළිබඳව පොලීසිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.