කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට එරෙහිව සමාජ මාධ්‍යයේ අපහාසාත්මක පළකිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්දු නම්මුණි මහතා ඊයේ (03) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පෙනී සිටියේය.
රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ලලන්ත කුමාර මහතා අධිකරණයට වාර්තා කළ පරිදි,
සැකකරු විසින් සිදු කරන ලද අපහාසාත්මක පළකිරීම හේතුවෙන් පැමිණිලිකාරිය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති අතර, ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත. වෛද්‍යවරයා විසින් වැඩිදුර මානසික සෞඛ්‍ය සායන ප්‍රතිකාර නිර්දේශ කර ඇති බවද වාර්තා විය.
පැමිණිලිකාරියට ලිංගික හිංසනයක් කිරීමේ අරමුණින් සැකකරු චේතනාන්විතවම අසත්‍ය අපහාසාත්මක කරුණු පළකරමින් මානසික අඩන්තේටම කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක ලලන්ත කුමාර මහතා පැවසීය.
සැකකරු ලියූ අපහාසාත්මක ප්‍රකාශය අධිකරණය හමුවේ කියවා සිටි ලලන්ත කුමාර මහතා එම පළ කිරීම අසත්‍ය අපහාසාත්මක හා ද්වේෂ සහගත බව පැමිණිල්ලේ සඳහන් වී ඇති බවත් එම අපහාසාත්මක ප්‍රකාශයෙන් ඇය දැඩි ලැජ්ජාවට, බියට, මානසික අපහසුතාවට මෙන්ම සමාජයේ අපකීර්තියට ලක්ව ඇති බවට හා නිවැසියන් පවා තමන් අප්‍රසාදයට පත් කර ඇති බවත් පැමිණිලිකාරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇතැයිද කීය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජගත් බණ්ඩාර මහතා, තම සේවාදායකයා වරද පිළිගන්නා බවත්, පළකිරීම විනාඩි 8ක් ඇතුළත ඉවත් කර ඇති බවත් අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිලිකාරියම සඳහන් කර ඇති පරිදි " බොරුව ඇත්ත කිරීමටත්, ඇත්ත බොරුව කිරීමටත් හැකිය යන වදන සනාථ කිරීම සඳහා තම සේවාදායකයා මුහුණු පොතේ මෙම පළ කිරීම කළත්, එම සටහන විනෝදය තකා බොරුවක් ලෙස පළ කළත් පසුව ඉවත් කළ බව කීය. මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුට තරයේ අවවාද කර රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට නියෝග කළේය.
නඩුවේ ඉදිරි විභාග කටයුතු ජනවාරි 30 වන දින පැවැත්වීමට නියමිත අතර, එදිනට රහස් පොලිසිය විසින් පැමිණිල්ලේ ස්ථාවරය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට නියෝග කර ඇත. සැකකරුද එදින අධිකරණයේ පෙනී සිටිය යුතු බවට නියම කර ඇත.
0 Comments