bringing-the-entire-opposition-to-a-single-platform-against-state-repression-pramitha-bandara

 රජයේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක් වේදිකාවක රැස් කිරීමේ උත්සාහයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් කණ්ඩායමක් නිරත වී සිටින බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අනාවරණය කර සිටියේය. හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූ අයෙකි.



මෙම වැඩපිළිවෙළ යටතේ දැනටමත් විවිධ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා මාලාවක් ආරම්භ කර ඇති අතර, ඉදිරි දිනවල තවත් වැදගත් හමුවීම් කිහිපයක් සැලසුම් කර තිබෙන බව ඔහු පැවසීය. විශේෂයෙන්ම, අතීතයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (සිලින්ඩර ලකුණ) සහය දැක්වූ පොදුජන පෙරමුණේ කණ්ඩායම මෙම එක්සත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බව ඔහු අවධාරණය කළේය.

මෙම සාකච්ඡා මාලාවේ ඊළඟ පියවර ලෙස හෙට (30) දින එක්සත් ජාතික පක්ෂයේ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිත බව තෙන්නකෝන් මහතා සඳහන් කළේය. ඊට අමතරව, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සමඟ ඊයේ දින සාර්ථක සාකච්ඡාවක් පවත්වා ඇති බවද ඔහු හෙළි කළේය.

තවද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සමඟ පළමු වටයේ සාකච්ඡා පවත්වා ඇති අතර, එම පක්ෂ දෙක සමඟ අද දින තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ඔහු පැවසීය.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ නිල සාකච්ඡා ඉදිරියේදී පැවැත්වීමට නියමිත බව සඳහන් කළ තෙන්නකෝන් මහතා, එම පක්ෂයේ හිටපු මැති ඇමති කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේ ලැබුණු ප්‍රතිචාර ඉතා සාධනීය බව පෙන්වා දුන්නේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ අරමුණින් මෙම සාකච්ඡා පැවැත්වෙන බව පැහැදිලි කළ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂ පක්ෂ එක්ව පොදු ලකුණක් යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක තරග කිරීමට සැලසුම් කර ඇති බව අනාවරණය කළේය.

විපක්ෂය තවදුරටත් බෙදී සිටීම රජයේ මර්දනකාරී ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීමේදී දුර්වලතාවයක් වන බව අවධාරණය කළ තෙන්නකෝන් මහතා, මර්දනයට එරෙහි ඕනෑම වැඩපිළිවෙළකට තම කණ්ඩායම කිසිදු කොන්දේසියකින් තොරව සහය දෙන බව තහවුරු කළේය.